October 18, 2024

අධික බීමතින් මෝටර් රථයක නැගී අතේ ගෙනයන ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කරමින් මහමග යන ජනතාවට උසුළු විසුළු කරමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි තරුණයන් දෙදෙනකු සහ එම මෝටර් රථය පැදවු රියදුරු මහනුවර මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෝටර් රථය ඒ අයුරින් මහනුවර මූලස්ථාන පොලිසිය ඉදිරිපිටින් ගමන් කරමින් සිටියදී මහනුවර රථ වාහන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම රථය සහ එහි ගමන් කළ තරුණයන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා ඉදිරියට පැමිණවීමෙන් පසු, එම රථයේ රියදුරු හැර අනෙකුත් තරුණයන් දෙදෙනා අධික බීමතින් සිටින බවට වෛද්‍ය වාර්තා ලබා දී තිබේ.

එම මෝටර් රථය ද නවීකරණය කොට ඇති බැවින් එහි නවීකරණය කළ කොටස් සහ වාහනයේ නීතියානුකූල බව පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දේවපාර්තමේන්තුවේ පරීක්ෂකවරයකු හමුවට ඉදිරිපත් කිරීමටද පොලිසිය පියවර ගෙන ඇති අතර, මෙතෙක් එහි වාර්තා ලැබී නොමැති බව පොලිසිය කියයි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%