October 24, 2024

විදේශිකයන් රැදී සිටින ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට පියවර ගත්තේ පසුගිය 7 වැනිදා ලැබුණ බුද්ධි තොරතුරු ආරක්ෂක කවුන්සිලය රැස්වී විශ්ලේෂණය කිරීමෙන් පසුව ගත් තීරණයක් අනුව යැයි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළේය. ඊයේ පස්වරුවේ පොළොන්නරුවේදී පැවති විශේෂ ජනමාධ්‍ය හමුවකදී වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය ක‌ළේ, ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

අමෙරිකාව ඊයේ පෙරවරුවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නිකුත්කළ ආරක්ෂක උපදේශය සම්බන්ධව මතුව ඇති තත්ත්වය පැහැදිලි කිරීම සදහා මෙම ජනමාධ්‍ය හමුව කැඳවා තිබිණි.

මොකක්ද මේ ආරක්ෂක උපදේශය?

අද පෙරවරුවේ කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ආරක්ෂක උපදේශයක් නිකුත් කරමින් කියාසිටියේ, ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ආරුගම්බේ ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් ඇතැයි විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.

මෙම බරපතල අවදානම සැළකිල්ලට ගෙන තානාපති කාර්යාලය තම කාර්යය මණ්ඩල සාමාජිකයින්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම සීමාකළ බව එම උපදේශයේ සදහන් විය. එහි දැක්වුණේ, නැවත දැනුම් දෙනතෙක් මෙම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි තානාපති කාර්යාලය අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි.

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශය උපුටා දක්වමින් ඊශ්‍රායල් ජාතික ආරක්ෂක කවුන්සිලයද ඊශ්‍රායල් ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා දකුණු වෙරළ තීරයෙන් ඉවත්වන්නැයි අනතුරු ඇගවීමක් නිකුත් කළේය.

ඊයේ පස්වරුව වනවිට ඕස්ට්‍රේලියාව, කැනඩාව හා බ්‍රිතාන්‍යයද සිය ජාතිකයින්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි උපදෙස් නිකුත් කළේ, අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශය සලකා බලමිනි.

මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ ?

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශකළේ, ඔක්තෝම්බර් මාසයේ 7 වනදා මේ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබුණු බවයි.

එම තොරතුරු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුන්සිලය අවස්ථා කිහිපයකදී රැස්වී ආරක්ෂාව තහවුරු කිරීමට අදාළව ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගත් බව වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.

එහිදී වැඩබලන පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මෙසේද සඳහන් කළේය.

” 2023 ඔක්තෝබර් 7 මැද පෙරදිග යුධ වාතාවරණය ආරම්භ කිරීමත් සමගම 2024 ඔක්තෝම්බර් මාසයේ අවසන් වන විට ලෝකය පුරා ත්‍රස්තවාදී එම කටයුතු සම්බන්ධයෙන්ම එහෙම නැතිනම් දෙපාර්ශවයේ සටන් විවිධාකාර පාර්ශවයන් වලට ව්‍යප්තව තිබුණා. ශ්‍රී ලංකාවටත් මේ යම්කිසි තර්ජනයක් ඇති වේ යැයි සැකයක් ඇතිවුණ නිසා සහ ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ ඉතාමත්ම හොඳින් ආරක්ෂා රාජකාරී කරපු නිසා ඔක්තෝබර් හත වන විට ඒ සම්බන්ධයෙන් අපට බුද්ධි තොරතුරු ලැබුණා. යම්කිසි විදේශික ජාතිකයින් ඉලක්ක කරගෙන යම්කිසි ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් කියලා මීට සති 3ක පටන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කවුන්සිලයේ මේවා මෙම සිද්ධි සම්බන්ධයෙන් අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා සහ ඒ සඳහා උපදෙස් ලැබුණා ඒ උපදෙස් ප්‍රකාරව එම විදේශිකයන්ගේ ආරක්ෂාව එමෙන්ම එම ස්ථානවල ආරක්ෂාව සමහර විදේශිකයන් පුද පූජා කටයුතු කරන ස්ථාන වල ආරක්ෂාව විශේෂ ආරක්ෂක සැලැස්මක් යටතේ පොලිසි ස්ථානවල මගින් ඒ වගේම විශේෂ කාර්ය බලකාය මගින් ආරක්ෂාව සැලසුවා. ඊට අමතරව එම ස්ථානවල බුද්ධි නිලධාරී යෙදෙව්වා. ඒවගේම වෙනත් තොරතුරු ලබාගන්න ක්‍රමවේදයක් අපි සම්බන්ධ කර ගත්තා ”

මේ අනුව ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව සඳහා දින කිහිපයක සිට විශේෂ වැඩ පිළිවෙලක් දියත්කර තිබිණි.

සෝදිසි කිරීම්, මාර්ග බාධක මෙන්ම ගුවන් හමුදාවේ විශේෂ ගුවන් නිරීක්ෂණද මේ වනවිටත් ක්‍රියාත්මකය.

මේ ආරුගම්බේ ප්‍රදේශවාසීන් දැක්වූ අදහස් ය.

”ආරුගම්බේ ඉඳලා පොතුවිල් නගරය වෙනකම් හදිසියේ ජනාධිපතිවරණය සමයේ පොලිස් මාර්ග බාධක තුන හතරක් දැම්මා.ජනාධිපතිවරණයේ ආරක්ෂාවට තමයි දාලා තියෙන්නෙ කියල අපි හිතුවා. නමුත් ජනාධිපතිවරණය ඉවර වෙලා පාර්ලිමේන්තු මැතිවරණය ඇවිල්ල තියනවා. පොලිස් මාර්ග බාධක තාම ඉවත් කරලා නැහැ.ඔවුන්ගෙන් අපිට කිසි ප්‍රශ්නයකුත් නැහැ.”

”ආරුගම්බේ ඉඳලා පොතුවිල් දක්වාම මාර්ග බාධක තුනක් දැම්මා. මැතිවරණ කාලයේ දාලා තියනව කියලයි අපි හිතුවේ. මැතිවරණයෙන් පස්සෙත් ඒවා ඒ විදියටම තියනවා.අපිට කිසි ප්‍රශ්නයක් නෑ”

ආරුගම්බේ ප්‍රදේශයට අමතරව ඇල්ල සංචාරක කලාපයේත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි.

කොළඹ සහ දකුණු පළාත ආශ්‍රිතවත් මෙම ආරක්ෂක ක්‍රියාමාර්ග දියත් කර ඇති අතර එහිදී ඊශ්‍රායල් ජාතිකයන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදා ඇති අයුරුද නිරීක්ෂණය විය.

වැඩබලන පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් මෙසේද පවසයි.

”මේ සම්බන්ධයෙන් (කොන්සල්) ජනරාල්වරුන් සමග අපි නිරන්තර සබඳතා පැවැත්තුවා.මේ වන විට ඇමෙරිකානු ආරක්ෂක උපදේශයත් සමඟ නිකුත් කිරීමත් සමඟ මේ සම්බන්ධයෙනුත් අපිට දැනුවත්කමක් තිබුණා බුද්ධි අංශ අපව දැනුවත් කරලා තිබෙනවා.ඒ අනුව මෙම ආරක්ෂක කටයුතු ඊයේ දිනයේ සිට විශේෂ ආරක්ශන සැලැස්මක් ක්‍රියාත්මක කරා.ඒත් එක්කම අද උදෙත් ආරක්ෂක කවුන්සිලය රැස්වුනා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරා ත්‍රිවිධ හමුදාපතිවරු බුද්ධි ප්‍රධානි ඒවගේම ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා මගින් එම කටයුතු පැවතුණා. එහිදීත් ලැබුණු තොරතුරු සහ ලැබුනු උපදෙස් අනුව මේ වන විට විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා.ඒත් එක්කම ඔවුනුත් සෑහීමකට පත්වෙනවා ඒ ආරක්ෂාව සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුවත් කරලා තියෙනවා. තානාපති කාර්යාලත් ඊට ඉහළ ධනාත්මක ප්‍රතිචාරයක් දක්වාලා තියෙනවා. ඒ ආරක්ෂා කටයුතු නියම ආකාරයෙන් සිදුවන බවට.මේක දේශීය වශයෙන් දේශීය පුද්ගලයන් ඉලක්ක කරගෙන කිසිදු තර්ජනයක් මෙවන විට නිරීක්ෂණය වන්නේ නෑ කෙසේ නමුත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසියම් තොරතුරක් කිසියම් වෙනස් වීමක් කිසියම් ත්‍රස්තවාදී තර්ජනයක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා නම් පොලිසි ස්ථානය පොලිසියට දැනුම් දෙන්න දැනට මම හිතන්නේ ප්‍රමාණවත් ආරක්ෂාවක් යොදවලා තියනවා.අද දිනයේත් විශේෂ ආරක්ශක සැලැස්මක් උදේ පහේ ඉඳන් විශේෂ වටලා සෝදිසි කිරීම් අරුගම්බේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණා. නමුත් අපට කිසිදු සැක කටයුතු පුද්ගලයෙක් සහ දේපළක් හමුවුණේ නෑ.”

මේ අතර, ඕනෑම සංචාරකයකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන ගැටලුවක් පිළිබඳව 1997 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව පොලිසිය අද පෙරවරුවේ නිවේදනය කළේය.

මේ තත්ත්වයට සමගාමීව අන්තර්ජාතික මට්ටමින් සිදුවූයේ කුමක්ද?

පසුගිය දෙවැනිදා ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පර්සෝනා නන්ග්‍රාටා, තම රට පිළි නොගන්නා පුද්ගලයෙකු බවට ප්‍රකාශයට පත්කළේ ය.

ඒ ඉරානය විසින් ඉශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරය හෙළාදකිමින් ඔහු කළ ප්‍රකාශයට විරෝධය පළකරමිනි.

ඊට පසුදින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මහලේකම්වරයාට සිය සම්පූර්ණ සහය පළකළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලයේ තීරණයට එරෙහිව අප්‍රිකානු සමූහය ඇතුළත්ව රටවල් 104 ක් සහ සාමසාධක හමුදා මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහය දෙන රටවල් 34 ක් ලිපියකට අත්සන් තැබුවේය.

ශ්‍රී ලංකාව මෙම ලිපියට අත්සන් නොතැබූ බවට අන්තර්ජාතික මට්ටමින්තු පසුගිය දින කිහිපයේ විවේචනයක් එල්ලවිය.

එහෙත් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඔක්තෝම්බර් 11 වැනිදා තමන් මෙම ලිපියේ පාර්ශ්වකරුවෙකුවීමට කැමැත්තක් දක්වන බවට එය සම්බන්ධීකරණය කළ නිව්යෝර්ක්හි චිලී රාජ්‍යයේ තානාපති කාර්යාලය හරහා දැනුම්දුන් බවයි.

ශ්‍රී ලංකාව දිගින් දිගටම පලස්තීනයට සහය පළකරන බවත්, එම ජනතාව වෙනුවෙන් පෙනීසිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කළේය.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව එම ලිපිය හරහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ආරක්ෂා කිරීම පමණක් නොව සම්පූර්ණ එක්සත් ජාතීන්ගේ වරම ආරක්ෂා කරන බවද අවධාරණය කර තිබිණි.

පසුගිය 11 වැනිදා ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ ගම්මානයකට එල්ලකල ගුවන් ප්‍රහාරයකින් ශ්‍රී ලංකාවේ සාමසාධක හමුදා සාමාජිකයන් දෙදෙනකු තුවාල ලැබුවේ ය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක බලඇණිය පැවසුවේ, මෙම ප්‍රහාරය ඉතාමත්ම බැරෑරුම් කාරණාවක් බවත්, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ සාමාජික ආරක්ෂාව තහවුරු කිරීම සියල්ලන්ගේම වගකීමක්ද වන බවත්ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ප්‍රහාරය සහ තම හමුදා සෙබළුන්ට තුවාල සිදුකිරීම තරයේ හෙළාදැක තිබූ අතර, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් කමත් අවධාරණය කර තිබිණි.

ඉන් දින 2කට පසුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙරට තානාපතිවරුන් හමුවූ අවස්ථාවේ පැවසුවේ, ලෙබනනයේදී සාමසාධක කටයුතුවල නිරතවන හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් තුවාලවීම කනගාටුවට කරුණක් බවයි.

(News 1st)

42.31%
17.27%
32.76%