March 27, 2025

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට විදේශ රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සඳහා 25% ක තීරුබදු පනවන බවට නිවේදනය කර තිබේ.

“අපි කරන්න යන්නේ එක්සත් ජනපදයේ නිපදවා නැති සියලුම මෝටර් රථ සඳහා 25% තීරුබදු පැනවීමක්” ට්‍රම්ප් ඕවල් කාර්යාලයේදී පැවසීය.

එම තීරුබදු අප්‍රේල් 2 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එක්සත් ජනපදය ඊට පසුදාම ඒවා එකතු කිරීම ආරම්භ කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එය ඉතා උද්වේගකර බවත් මෙම පියවර ආර්ථික වර්ධනයට ඉවහල් වනු ඇති බවත් ට්‍රම්ප් පවසා තිබේ.

පෙබරවාරි මාසයේදී ට්‍රම්ප්, ආනයනය කරන වාහන සඳහා 25% ක තීරුබදුවක් පිළිබඳ අදහස ඉදිරිපත් කළ නමුත් වෙනත් විස්තර ඉදිරිපත් කර නොතිබුණි.

ට්‍රම්ප් විසින් ‘විමුක්ති දිනය’ ලෙස නම් කර ඇති අප්‍රේල් 2 වැනි දින ජනාධිපතිවරයා විසින් අන්‍යෝන්‍ය තීරුබදු රාශියක් තවදුරටත් ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එලෙස බදු පනවමින් ට්‍රම්ප් පරිපාලනය තර්ක කරන්නේ, ආනයනික භාණ්ඩ සඳහා එක්සත් ජනපදයේ වෙළඳ හවුල්කරුවන් විසින් අසාධාරණ ලෙස බදු අයකරනු ලබන බවයි.

රම්ප් දිගු කලක් පුරා තර්ක කළේ, එක්සත් ජනපදය එහි වෙළඳ හවුල්කරුවන් විසින් රවටමින් සිටින බවත්, තීරුබදු ඒ සඳහා හොඳම පිළියම බවයි.

ඔහුගේ මෙම තීරණය ආයෝජකයන් කනස්සල්ලට පත්කර ඇති අතර, එක්සත් ජනපද කොටස් වෙළඳපොළවල තියුණු පසුබෑමකට හේතුවී ඇත.

බොහෝ ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ ද, ජනාධිපතිවරයාගේ තීරුබදු සැලැස්ම එක්සත් ජනපදය පුරා මිල ඉහළ යෑමේ අවදානමක් ඇති කරවන බවයි.

උදාහරණයක් ලෙස, මෝටර් රථ උපදේශකයෙකු වන ඇන්ඩර්සන් ඉකොනොමික් ගෲප් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ කැනඩාවේ සහ මෙක්සිකෝවේ ප්‍රති තීරුබදු එක්සත් ජනපද මෝටර් රථ මිල ඩොලර් 12,000 කින් වැඩි කිරීමේ අවදානමක් ඇති බවයි.

මෙක්සිකෝව, ජපානය, දකුණු කොරියාව, කැනඩාව සහ ජර්මනිය යනු අමෙරිකාවේ ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරුවන් වනවා.

ධවල මන්දිරයේ නිලධාරියෙකු වන විල් ෂාර්ෆ් කියා සිටියේ නව මෝටර් රථ ගාස්තු එක්සත් ජනපදයට වාර්ෂික ආදායමෙන් ඩොලර් බිලියන 100 කට වඩා වැඩි වනු ඇති බවයි.

“මෙම බදු වැඩි කිරීම මෝටර් රථ කර්මාන්තය සහ කම්කරුවන් පමණක් නොව පරම්පරා ගණනාවක් අවදානමට ලක් කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි.