March 4, 2025

ට්‍රම්ප් පරිපාලනය යුක්රේනයට ඇමරිකානු හමුදා ආධාර අත්හිටුවා ඇති බව ධවල මන්දිරය සඳුදා තහවුරු කළේය.

ජනාධිපති ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර ධවල මන්දිරයේදී පැවති මතභේදාත්මක හමුවක් රූපවාහිනී කැමරා ඉදිරිපිට විවෘත ආරවුලක් දක්වා පුපුරා යාමෙන් පසු ඇති වූ නවතම ප්‍රතිඵලය මෙයයි.

“ජනාධිපතිවරයා සාමය කෙරෙහි අවධානය යොමුකර ඇති බව පැහැදිලිය,” ධවල මන්දිර නිලධාරියෙක් සීබීඑස් ප්‍රවෘත්ති වෙත පැවසීය.

“අපගේ හවුල්කරුවන් එම ඉලක්කයට ද කැපවිය යුතුය. එය විසඳුමකට දායක වන බව සහතික කිරීම සඳහා අපි අපගේ ආධාර නවතා සමාලෝචනය කරමින් සිටිමු.” යැයි එම නිලධාරියා පවසා ඇත.

රුසියානු ආක්‍රමණයෙන් වසර තුනකට පසුවත් රුසියානු හමුදාවලට එරෙහි ප්‍රහාර දිගටම සිදුකරන බැවින්, එක්සත් ජනපදය යුක්රේනයට ආයුධ සපයන ප්‍රධාන සැපයුම්කරුවකු වී ඇත.

එහෙත් ට්‍රම්ප් මහතා බලයට පත්වීම ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තියේ කැපීපෙනෙන වෙනසක් ඇති කර ඇති අතර, රුසියාව ආරම්භ කළ යුද්ධය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යුක්රේනයට දොස්පැවරීය.

රුසියාව සමඟ සටන් විරාම ගිවිසුමකට එළඹෙන ලෙස ජනපති ට්‍රම්ප් සෙලෙන්ස්කිට ප්‍රකාශ කර තිබේ.

එසේම යුක්රේනයේ සහ බයිඩන් පරිපාලනයේ රාජ්‍යතාන්ත්‍රිකභාවයක් නොමැතිකම නිසා යුද්ධය ඇදී ගිය බවට ඇමෙරිකානු උප ජනාධිපතිවරයා චෝදනා කර ඇත.