October 8, 2023

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයට අයත් බස් රථ අධික වේගයෙන් ගමන් කරන බැවින්, එම ගමන් තම ජීවිතවලට ඉතා අනතුරුදායක බව රුසියානු සංචාරකයෙක් ප්‍රකාශ කරයි.

අදාළ විදේශීය කාන්තාව සිය අත්දැකීම පොළොන්නරුවේ සංචාරක පොලිසියට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කර ඇත.

තමාගේ අනන්‍යතාවය හෙළි නොකළ ඇය කියා සිටියේ තමන් කොළඹ සිට පොළොන්නරුවට බස් රථයෙන් පැමිණියේ රටේ සුන්දරත්වය නැරඹීමට බවයි.

එහිදී ඇය පොළොන්නරුවට යන ගමනේදී තමන් ලද අමිහිරි අත්දැකීම පැහැදිලි කළාය.

“බස් එක පැයට කිලෝමීටර් 95ක වේගයකින්, සමහර වෙලාවට ප්‍රධාන පාරේ පැයට කිලෝමීටර් 100 ඉක්මවනවා. මම ගූගල් මැප් එකෙන් වේගය පටිගත කළා. බස් එක හුඟාක් වෙලාවට පැයට කිලෝමීටර් 100ට ධාවනය කළා. මම රියදුරාට කිව්වා වේගය අඩු කරලා අපිව ආරක්ෂිතව පොළොන්නරුවට ගෙනියන්න කියලා. ඒත් එයා අපිට කතා කළේවත්, ඇහුම්කන් දුන්නේවත් නැහැ. අපි ඔහුට කතා කරන විට වේගය පැයට කිලෝමීටර් 70, 75, 80 වගේ තිබුණා. බසය ඉගිල්ලෙනවා වගේ, අපරික්ෂාකාරී ලෙස බසය පැත්තකට නැමීමෙන් අනෙක් වාහන ඉස්සර කළා.

ඒක අපේ ජීවිතවලට හරිම භයානකයි, අපි මැරෙන්න කැමති නැහැ, අපි සංචාරකයන් පමණයි, අපිට ලංකාව බලන්න ඕන. මම හොඳටම බය වෙලා බස් එකේදි ඇඬුවා, මම අම්මට කතා කරලා කිව්වා. ශ්‍රී ලංකාවේ රිය පදවන්නේ මිනිසුන්ගේ ජීවිත පරදුවට තියලා.

දැන් මට නුවර යන්න ඕන. පැයට කිලෝමීටර් 100ක වේගයකින් නෙවෙයි අපිව පරිස්සමෙන් නුවරට ගෙනියන්න පුළුවන් සාමාන්‍ය රියදුරෙක් ඉන්න බස් එකක් ඕන. මට පිස්සු මනුස්සයෙක් ඕනෙ නෑ” සංචාරක කාන්තාව කියා සිටියාය.

නාගරික ප්‍රදේශවල සහ නගරයෙන් පිටත ධාවනය කිරීම සඳහා බස් රථ සඳහා වේග සීමාවන් පනවා ඇති අතර, පැයට කිලෝමීටර 60 නොඉක්මවන ලෙස නීති රීති ක්‍රියාත්මක කරන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

“මම බස් වලට නගින හැම වෙලාවකම මම දෙවියන්ට කන්නලව් කරනවා මාව ආරක්‍ෂාවෙන් සහ ගමන ඉවර වෙනකම්ම ජීවත් කරවන්න කියලා. අපි බස් එකකට නගින හැම වෙලාවකම අපේ ජීවිත පරදුවට තියනවා. ඒක ලංකාවේ මිනිස්සු දන්නවා. ඒක ආරක්‍ෂිත නැහැ.

ශ්‍රී ලංකාවේ බස් රථවල ගමන් කිරීම ඉතා භයානකයි. දුම්රිය කාලසටහන් පවා සොයාගැනීමට අපහසුයි,” ඇය පැවසුවාය.