December 26, 2024

2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා අද දින පෙ.ව 10.49ට බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන්තොටුපලට පැමිණියේය.

ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි.

මෙලෙස ලක්ෂ 20 සංචරකයා ලෙස මෙටරට පිළිගනු ලැබුවේ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ප්‍රසාන්ත් නමැත්තෙකි. ඔහු මෙරට සංචාරය කරනු ලබන්නේ ඔහුගේ බිරියද සමගිනි.

විසිලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් ගුවන්තොටුපලට පැමිණ තිබිණි.

සංචාරකයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිල්ක් රූට් පර්යන්තයේදී (Silk Route Lounge) ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සංවිධානය කර තිබිණි.

මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වැනි අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016‍, 2017, 2018 වසරවල දී පමණි.

2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ මේ වසරේදීය.

දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 195,127ක් පැමිණ ඇති අතර, දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ (අපේක්ෂිත සංඛ්‍යාව 256,389කි).

මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ පමණි. එම සංඛ්‍යාව 252,033කි.

පාස්කු ප්‍රහාරය‍, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටුණු අතර, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

විදේශ සංචාරකයන් මුහුණදුන් ඔන්ලයින් වීසා ගැටලු විසඳීම‍‍, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව සංචාරක සේවා සපයන්නන් මුහුණ පෑ ගැටලු කඩිනමින් විසඳීමටත් රජය පියවර ගත්තේය.

ඒ අනුව ඉකුත් මාස 03ක කාලය තුළ පමණක් සංචාරකයන් 515,192ක් මෙරටට පැමිණ තිබේ.

රටවල් 39කට නොමිලේ වීසා පහසුකම් ලබාදීමටත් රජය කටයුතු කළේ ය.

ඒ 2025 වර්ෂයේ සංචාරකයන් ලක්ෂ 30ක් මේ රටට ගෙන්වා ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමටය.

 

42.31%
17.27%
32.76%