April 30, 2025

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද වාර්තා සහ ජනමාධ්‍ය නිවේදන මගින් පෙන්නුම් කරන පරිදි වත්මන් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම්වල කැපීපෙනෙන අඩුවීමක් නිරීක්ෂණය වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නිරීක්ෂණ ආයතනය පවසයි.

එය මැතිවරණ පැවැත්වීම සඳහා සුදුසු පරිසරයක් සම්බන්ධයෙන් ධනාත්මක වර්ධනයක් බවත්, එමගින් පෙන්නුම් කෙරෙන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා දේශපාලන පාර්ශවකරුවන්ගේ, මැතිවරණ නිලධාරීන්ගේ සහ පුරවැසියන්ගේ සාමූහික ප්‍රයත්නවල ප්‍රගතිය බවත් ට්‍රාන්ස්පේරන්සි ආයතනය පවසයි.

සැළකිව යුතු ප්‍රගතීන් පෙන්නුම් කර තිබුණ ද, ඇතැම් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සුළු සිදුවීම් තවදුරටත් අඛණ්ඩව වාර්තා වන බව එම ආයතනය පවසයි.

ඡන්ද වෙනුවෙන් භාණ්ඩ බෙදාහැරීම්, පහරදීම්, දේපළ හානි ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා, මැතිවරණ වාසි වෙනුවෙන් පොදු දේපළ අවභාවිතය වැනි සිදුවීම් පැහැදිලිව පෙනෙන්නට ඇති බව ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නිරීක්ෂණ ආයතනය පෙන්වා දී තිබේ.

පෙර පැවැති මැතිවරණ හා සසඳන විට එවැනි උල්ලංඝනයන්ගේ වාර ගණන අඩු වී ඇතත්, ඒවා අඛණ්ඩව සිදුවීම ප්‍රජාතන්ත්‍රවාදී අඛණ්ඩතාව අඩපණ කරන අතර මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කරන බව ද ඔවුහු පවසති.

ආණ්ඩු පක්ෂ නියෝජිතයන් වැඩි සංඛ්‍යාවක් තෝරා පත්කර ගැනීමට ඉඩ ඇති පළාත් පාලන ඡන්ද විමසීමේදී, මනාප ලබාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රසිද්ධ ප්‍රකාශයන් සම්බන්ධයෙන්ද ඔවුන් අවධානය යොමුකර ඇති අතර, එවැනි ප්‍රකාශයන් ඡන්දදායකයාගේ ස්වාධීනත්වය කෙරෙහි අනවශ්‍ය බලපෑම් පිළිබඳ බරපතල කනස්සල්ලක් මතු කරන අතරම, ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යවශ්‍ය වන නිදහස් හා සාධාරණ මැතිවරණ මූලධර්ම කෙරෙහි නොසැළකිලිමත් බවක් පෙන්නුම් කරන බව ද ආයතනය පවසයි.

මෙවැනි ක්‍රියා නිවැරදි දේශපාලන සංස්කෘතියක් පවත්වාගෙන යෑමේ අවදානමක් ඇතිකරන බවත්, විශේෂයෙන්ම ඉහළම මට්ටමේ නායකත්වය යහපාලනය සඳහා ප්‍රමිතිය සැකසිය යුතු බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නිරීක්ෂණ ආයතනය අවධාරණය කර තිබේ.

එමෙන්ම ඡන්ද විමසීම ළඟාවෙමින් ඇති බැවින්, එහි ප්‍රගතිය ආරක්ෂා කරගැනීම සහ මැතිවරණ ක්‍රියාවලියේ යම් යම් උල්ලංඝනයන් කඩිනමින් හා ඵලදායී ලෙස විසඳා ගැනීම ඉතා වැදගත් බවත් ඔවුහු පවසති.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීමට සහ ප්‍රතිඵලයේ විශ්වසනීයත්වයට හානි කළහැකි ඕනෑම ක්‍රියාවක් වළක්වා ගැනීමට කැපවන ලෙස ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සියලු දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.