February 17, 2024

විදුලි පන්දමක් අතැතිව දුම්රිය අනතුරකින් මියගිය සැමියාගේ දේහය බාරගැනීම පුතික්ෂේප කර විදුලි පන්දම පමණන් රැගෙන ගිය තිදරු මවක සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී ඉකුත් 14 වැනිදා වාර්තා විය.

දුම්රිය අනතුරට මුහුණ දුන් තැනැත්තා 48 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු සමග මීට වසර 23ට පමණ ඉහත දී විවාහ වී කාන්තාවගේ නිවෙසේ පදිංචියට ගොස් ඇත.

මොවුන් දෙදෙනාට දරුවකු හා දැරියන් දෙදෙකු සිටින බව හදිසි මරණ පරීක්ෂණයේදී හෙළිවිය.

බිරිය හා දරුවන් තිදෙනා අතහැර දමා මෙම තිදරු පියා 2021 වර්ෂයේ යළි උපන් නිවෙසට පැමිණ ඒ ආසන්නයේ තනා තිබුණු නිවසක කුලී වැඩකර උපයා ගන්නා මුදුලකින් කා බී තනිවම නිවසේ ජීවත්ව සිටි ඇති බවත් හෙළිවිය.

කුලී වැඩක් කර මත්පැන් පානය කර සිටි මොහු විදුලි පන්දම ද අතැතිව නිවෙසට යාමට රාත්‍රි 9.30 ට පමණ දුම්රිය මාර්ගය ආසන්නයෙන් ආරම්භ කරන අඩි පාර ආසන්නයට පැමිණ ඇත.

නිවෙසට යෑමට අඩි පාර ආරම්භ කරන දුම්රිය පාරේ වාඩිගත් තිදරු පියා රඹුක්කන බලා ධාවනය වෙමින් තිබුණු දුම්රිය එන්ජිමක ගැටි ඇතැයි අනාවරණය විය.

දුම්රියේ ගැටී ඔහු දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී මුනින් අතට වැටි ඇතැයි මරණ පරීක්ෂණයේදී හෙළිවිය.

ප්‍රදේශවාසීන් රඹුක්කන පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව රඹුක්කන හදිසි මරණ පරීක්ෂක ඩිල්ෂාන් කන්දේමුල්ල හා පොලිස් නිලධාරියෙක් අනතුර සිදුව තිබූ ස්ථානයට ගොස් මුලික විමර්ශන කටයුතු කර දේහය ප්‍රදේශයේ අවමංගල්‍ය රථයකින් 14 වැනිදා පාන්දර කෑගල්ල මහ රෝහලට බාරදී ඇත.

අනතුරින් මිය ගොස් සිටි පුද්ගලයාගේ බිරිය හා ඥාතීන් හඳුනාගෙන ඔවුන් ගෙන්වා හදිසි මරණ පරික්ෂණය ඉකුත් 14 වැනිදා පෙරවරුවේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී සිදුකෙරිණි.

එහිදී හදිසි මරණ පරීක්ෂණයට පෙනී සිටීමට පැමිණ සිටි බිරියට හදිසි මරණ පරීක්ෂකවරයා අනතුර සිදුව ඇති ආකාරය හා මේසය මත තිබුණු විදුලි පන්දමක් පෙන්වා පවසා ඇත්තේ එය සැමියා අසල දැල්වෙමින් තිබුණු අවස්ථාවේ තමා ඉදිරියේදී පොලිස් බාරයට ගෙන තිබුණු බවය.

එහිදී බිරිය කියා ඇත්තේ සැමියා බීමත්ව පැමිණෙන සෑම දිනකම තමන්ට බැන පහරදෙන බවත් එය දුටු දරුවන් තිදෙනාට ද පියා එපා වූ අවස්ථාවේ දී සැමියා 2021 වසරේදී යළි මහ ගෙදර නිවෙසට පැමිණි බවයි.

තමා දික්කසාද වී නොමැති බවත් දේහාය බාරගැනීමට නොහැකි බවත් පවසා හදිසි මරණ පරීක්ෂකවරයාගේ මේසය මත තබා තිබුණු විදුලි පන්දම ගෙන පුටුවෙන් නැගිට යාමට සූදානම් වී ඇත.

එහිදී හදිසි මරණ පරික්ෂක ඩිල්ෂාන් කන්දේමුල්ල මහතා තමා සැමියාගේ දේහය බාරගැනීම ප්‍රතික්ෂේප කර විදුලි පන්දම පමණක් රැගෙන යෑමට ඇති හේතු පැහැදිලි කරන ලෙස විමසීමක් කළේය.

එහිදී තිදරු මව කියා ඇත්තේ දේහය රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරීමට ශක්තියක් නොමැති බවයි.

ඉන්පසු බිරිය සිය දරු තිදෙනා සමග එතැනින් පිටව ගොස් ඇත්තේ විදුලි පන්දම ද රැගෙන බව අනාවරණය විය. (ලංකාදීප)

42.31%
17.27%
32.76%