February 5, 2024

ඔක්තෝබර් මස මුල් සතියේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර, නව ජනාධිපතිවරයකු ඔක්තෝබර් 14ට පෙර දිවුරුම්දීමට අපේක්ෂා කරන බව සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.

ජනමාධ්‍යවේදීන් අමතමින් ඇමැතිවරයා කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

“මැතිවරණයෙන් සියයට 3ක් ගත්ත කණ්ඩායම්වලට ජනාධිපතිවරණය දිනන්න තවත් සියයට 47ක් හොයාගන්න එක හීනයක්.

ඔවුන්ට සිහින දැකීමට ඉඩදීම හොඳයි. ඒත් හීන හැබෑ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.”

කෙටි කලකින් බංකොලොත් වූ රටකට පණදුන් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ බැවින්, මේ රට ගොඩගැනීමට තවත් එක් අවස්ථාවක් ජනාධිපතිවරයාට ලැබිය යුතු බවද ඇමැතිවරයා සඳහන් කරයි.

“අපේ රට හරියට සනීප වෙලා ICU එකෙන් වාට්ටුවට මාරු කරපු ලෙඩෙක් වගේ. දැන් ජනතාව තීරණය කළ යුත්තේ රෝගියාව දැඩි සත්කාර ඒකකයට යවා රෝගියා මරාදමනවාද කියලා.”

මාරාන්තිකව රෝගාතුර වූ රට ගොඩනැගීමට සිටින හොඳම වෛද්‍යවරයා රනිල් වික්‍රමසිංහ බවත්, එය මුළු ලෝකයම විශ්වාස කරන බවත්, ඇමැතිවරයා පවසයි.

“අපි අපේ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ පසු, අපේ උත්සාහය සහ ප්‍රගතිය ජනතාවට පෙන්වූ පසු, ඔවුන් එය තේරුම් ගනීවි කියා මම විශ්වාස කරනවා. අපේ අපේක්ෂාවන් තිබෙනවා.” ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

42.31%
17.27%
32.76%