April 27, 2024

ගාසා තීරයේ හදිසි අර්බුදය විසඳීම සඳහා සැළකිව යුතු මූල්‍ය ආධාරයක් ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිත ආයතනයේ කොමසාරිස් ජනරාල් Philippe Lazzarini, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ශ්‍රී ලංකා රජයට කෘතඥතාව පළකර තිබේ.

පලස්තීන සරණාගතයන් වන බහුතරයක් ගාසා තීරයේ මිලියන දෙකකට අධික පලස්තීනුවන් වර්තමානයේදී මුහුණදෙන දරුණු තත්වය Philippe Lazzarini විසින් ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.

අන්තර්ජාති මානුෂීය නීතිය ආරක්‍ෂා කිරීමේ සහ සිවිල් ජීවිත හා යටිතල පහසුකම් ආරක්‍ෂා කිරීමේ වැදගත්කම මෙන්ම අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ අත්‍යවශ්‍ය ආධාර සැපයීමේදී එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිත ආයතනයේ කැපවූ කාර්ය මණ්ඩලයේ තීරණාත්මක කාර්යභාරය ද කොමසාරිස් ජනරාල්වරයා එමගින් අවධාරණය කර ඇත.

එමෙන්ම එම නියෝජිත ආයතනයෙන් කළ ඉල්ලීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලැබෙන මූල්‍ය දායකත්වය හරහා ගාසා තීරයේ මානුෂීය ප්‍රයත්නයන් සැළකිව යුතු ලෙස ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන අතර, දැනට එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිත ආයතනයේ පහසුකම්වල රැකවරණය පතා සිටින මිලියනයකට අධික පුද්ගලයින්ට එමගින් ප්‍රතිලාභ හිමිවන බව ද අදාළ ලිපියේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිත ආයතනයේ මෙහෙයුම් සඳහා වසර ගණනාවක් පුරා පවතින අඩු අරමුදල්වල බලපෑම, තීරණාත්මක සේවාවන් ඵලදායී ලෙස සැපයීමට ඇති හැකියාවට බාධා කරන බව ද එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිත ආයතනයේ කොමසාරිස් ජනරාල් Philippe Lazzarini සඳහන් කර තිබේ.

පලස්තීන සරණාගතයන්ට සහ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිත ආයතනයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම අගය කර ඇති කොමසාරිස් ජනරාල්වරයා ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ හවුල්කාරිත්වය සහ සහයෝගය පිළිබඳව සුභවාදී අදහස් පළකර තිබේ.