April 10, 2025

උතුරු පළාතේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ සොයාබැලීමේ කටයුතු සඳහා මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ අද යාපනය ප්‍රදේශයට පැමිණ තිබේ.

එහිදී ඔවුන් දෙදෙනා යෝජිත ක්‍රීඩාංගණය සඳහා දැනටමත් හඳුනාගෙන පවරාගෙන ඇති මණ්ඩතිව් ප්‍රදේශයේ ඉඩමක් නිරීක්ෂණය කර ඇත.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මානද යහම්පත් ද මෙම සංචාරයට එක් වූ අතර, එම ස්ථානය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ද ඔහු සහභාගී විය.

මෙම සංචාරයේදී නිලධාරීන් විසින් අදාළ භූමියේ ශක්‍යතා ඇගයීමට ලක්කළ අතර උතුරු පළාත තුළ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමේ අරමුණින් මෙම පහසුකම සංවර්ධනය කිරීමේ මූලික සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.