July 19, 2023

බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලපෑම් කරන ලෙස ඉල්ලා සිටිමින්, දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපියෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පවසන්නේ, දෙමළ ජනතාවගේ ආරක්ෂාව, අනන්‍යතාව සහ ජාතියක් ලෙස පැවැත්ම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවෙන් වෙන් කළ නොහැකි බවයි.

“කණගාටුදායක ලෙස, ගිවිසුමේ අත්සන් කරන ලද ද්විත්ව අරමුණු, එනම් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සහ ඉන්දියාවේ ආරක්ෂාව, වසර 36 ක් ගතවී ඇතත් තවමත් තහවුරු වී නැත” යැයි සම්බන්ධන් මන්ත්‍රීවරයා එහි පවසා ඇත.

තවත් ප්‍රමාදයකින් තොරව උතුර-නැගෙනහිර දෙමළ ජනතාව සමඟ පාලන බලතල බෙදාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට 2023 ජුලි 21 වැනිදා නවදිල්ලි නුවරට පැමිණෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට බලකරන ලෙස හෙතෙම සිය ලිපියෙන් ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.