42.31%
17.27%
32.76%
October 6, 2023

මඩකලපුවේ තණබිම් සම්බන්ධ කරුණක් මුල්කර ගනිමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද (06) පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා එල්ල විය.

මයිලත්තමඩු ප්‍රදේශයේ කිරි ගොවීන් විසින් ප්‍රදේශයේ අනවසර පදිංචි කිරීම් සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් සැප්තැම්බර් මස සිදුකරන ලද විරෝධතාව පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මෙහිදී සඳහන් කළේය.

වසර 60කට අධික කාලයක් තමන් භාවිත කරන තණබිම්වල අනවසර පදිංචි කිරීම් සම්බන්ධයෙන් ගොවීන් විරෝධතාවයේ නිරතවන බවත්, පදිංචිකරුවන් විසින් මෙම ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන, ගවයන් ඝාතනය කර, ඉඩම් සකස්කර ඇති බවට වාර්තා වන බවත්, මන්ත්‍රීවරයා පැවැසීය.

අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක් දක්වමින් මන්ත්‍රී රාසමණික්කම් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනකු විසින් එම ප්‍රදේශයේ ගවයන් හා ඉඩම් විනාශ කිරීම වැළැක්වීමට මැදිහත්වන මෙන් රාජ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

අද දිනයේ විෂය භාර ඇමැතිවරයා සභාවට නොපැමිණීම නිසා, රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ආරම්භ කරන ලද විරෝධතාව තවත් තීව්‍ර විය.

විරෝධතාවයේදී පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් අතර උණුසුම් වාදයක් ඇතිව ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වාරිමාර්ග ඇමැතිවරයාට කරුණු දක්වන බවට සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සහතික වීමෙන් පසු විරෝධතාව අවසන් විය.

42.31%
17.27%
32.76%