42.31%
17.27%
32.76%
October 16, 2023

රට තුළ ප්‍රශ්න රැසක් පවතින අවස්ථාවක ආණ්ඩුව ජනාධිපතිවරණය පිළිබඳ විවිධ මාතෘකා කරළියට ගෙන එමින් රටේ ජනතාවගේ දෛනික ප්‍රශ්න අමතක කිරීමට උත්සහ කරන බවක් පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැවැසීය.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ, අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

‘‘සමාජ කතිකාවතක් ආරම්භ වෙලා තියෙනවා ජනාධිපතිවරණය නොපවත්වා කල්දාන්න ආණ්ඩුව උත්සහ කරනවා කියලා. තවත් පැත්තකින් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ආණ්ඩුව පිඹිරුපත් සකස් කරමින් තිබෙනවා. 2024 ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැති බව කියමින් සමාජ කතිකාවතක් ඇති කිරීමට ආණ්ඩුව විවිධ ප්‍රචාරණයක් ආරම්භ කරලා තියෙනවා.

අධිකරණ ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ පත්‍රිකාවෙන් කියවෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ගැන නව යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන.

ජනාධිපතිවරණයක් තියෙනවාද නැද්ද මහ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න උවමනාද නැද්ද ඒ සඳහා සංශෝධන ගේනවාද නැද්ද කියලා සාකච්ඡා කරන්න සුදුසු වෙලාවක් විදිහට මේ වෙලාව අපි දකින්නේ නෑ.

බිඳවැටුණු රට ගොඩගැනීම සඳහා බංකොලොත් වූ රට බංකොලොත්භාවයෙන් ගලවා ගැනීම සඳහා ජාතික මෙහෙවරක් සිදුකළ යුතු අවස්ථාවක එය එසේ නොකර ආණ්ඩුව විවිධ මාතෘකා කරළියට ගෙන එමින් රටේ ප්‍රධාන ප්‍රශ්න අමතක කරමින් තිබෙනවා.

ප්‍රශ්න රැසක් රට තුළ තිබෙන අවස්ථාවක ආණ්ඩුව ජනාධිපතිවරණය තිබෙනවාද නැද්ද කියලා කතිකාවතක් ආරම්භ කරලා රටේ මිනිස්සුන්ගේ සාමාන්‍ය දෛනික ප්‍රශ්න අමතක කරන්න උත්සහ කරන බවක් පෙනෙන්නට තිබෙනවා.

කුමන හේතුවක් නිසාවත් රටේ ජනතාවගේ ජන මතය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් කරන්න සමගි ජන බලවේගය ඉඩ දෙන්න සූදානම් නෑ.

මේ වනවිත් ආණ්ඩුව ජනතාවගේ පරමාදිපත්‍යයේ කොටස් කිහිපයක් උදුරගෙන තිබෙනවා. පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය උදුරාගෙන තිබෙනවා. මෙය සම්පූරණයෙන් නීති විරෝධී ක්‍රියාදාමයක්.

2024 සැප්තැම්බර් මාසයෙන් පස්සේ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. එයට වංගු ගහන්න බෑ. වෙනත් ආකාරයක පැලැස්තර ගහන්න බෑ. ජනාධිපතිවරණය පැවැත්තුවේ නැත්නම් ව්‍යවස්ථාවට අනුව සිදුවන්නේ අරාජික තත්ත්වයක්. රටේ නායකයෙන් නැති තත්ත්වයක් නිර්මාණය වෙනවා.

ආණ්ඩුවට ජනාධිපතිධූරය අහෝසි කිරීම පිළිබඳව අදහසක් තිබෙනවානම් එය‍ෙකෙස්ද කරන්නේ කියන කාරණය සාකච්ඡා කළ හැකි දෙයක්. නමුත් ජනාධිපතිවරණය නොපවත්වා තවදුරටත් රැඳී සිටින්න වත්මන් ජනාධිපතිවරයා උත්සහ කරනවානම් එය පරාජය කරන්න සියලු බලවේග සමඟ එකතු වෙලා කටයුතු කරන්න අපි සූදානම්. එය ජනතාවගේ පරමාධිපත්‍ය බලය උදුරාගැනීමක්.”

42.31%
17.27%
32.76%