January 20, 2024

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සම්මානනීය ජනප්‍රිය නිළියක වන පූජා උමාශංකර් කලා දිවියෙන් සමුගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමට අදහස් කරගෙන සිටින බව වාර්තා වේ.

සිය පෞද්ගලික අභියෝග හා බලාපොරොත්තු සුන් වීම් නිසා කලකිරුණු පූජා ශ්‍රී ලංකාවෙන් සමුගෙන පසුගියදා යළි ඉන්දියාවට ගියාය.

එහිදී ශ්‍රද්ධාවෙන් යුතුව තම ජීවිතය ගෙන යෑම සඳහා මෙලෙස ආධ්‍යාත්මික පැත්තට යොමු වී ඇති බව දැනගන්නට ඇත.

මේ දිනවල මෙරට තිරගත වන, දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සරෝ ෂන්මුගම් අධ්‍යක්ෂණය කළ “සිහිනයකි ආදරේ” සිංහල චිත්‍රපටය ඇයගේ සිනමා දිවියේ අවසන් චිත්‍රපට රංගනය ලෙස සැළකේ.

පූජා නැවත ලංකාවට නොපැමිණීමට දැඩි තීරණයක් ගෙන ඇති බවත්, රංගන දිවියට සම්පුර්ණයෙන්ම තිත තැබීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.

තම විවාහ දෙකේ පසුබෑම නිසා කලකිරීමෙන් සිටි ඇය කාලයක සිට අතෘප්තිමත් හැඟීමකින් කටයුතු කර ඇති බවත්, ඒ නිසාම මෙලෙස ආධ්‍යාත්මික ජීවිතයකට යොමුවීමට පූජා කටයුතු කර ඇති බව ඇයට සමීප ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මේ තීරණය නිසා ඇයට ආදරය කරන බොහෝ පිරිස් වඩාත් කණස්සල්ලට පත් වී සිටිති.

ශ්‍රී ලංකාවේ ඉපදුණු පූජා ගෞතම් උමාශංකර්, සිංහල, දෙමළ, තෙලිඟු, මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිළියකි.

ඇය මෙරට මෙන්ම දකුණු ඉන්දියාවේද සම්මාන රැසකට හිමිකම් කීවේ තම දක්ෂතාව කොතෙක්ද යන්න පෙන්නුම් කරමිනි.

ඉන්දියාවේ බැංගලෝරයේ පාසල් අධ්‍යාපනය ලබා වාණිජවේදී උපාධිය හා MBA පශ්චාත් උපාධිය ද හිමිකරගත් පූජාට, කන්නඩ, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාව ඇත.

ඇය මෙරට දී “අංජලිකා, ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ, පත්තිනි, කුස පබා, යහළුවෝ, සරිගම” ඇතුළු චිත්‍රපට රැසක ප්‍රධාන චරිත රඟපෑ අතර, ජැක්සන් ඇන්තනිගේ “දස්කොන්” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් ලාංකේය පුංචි තිරයටද එක්වූවාය.

(ලංකාදීප)