February 2, 2024

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස දිගටම කටයුතු කිරීම මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් පෞද්ගලිකව අනුමත කිරීම සහ ඔහු කෙරෙහි විශ්වාසය පළකිරීම, මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලි කරන ලද පරිදි නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බව නීතිඥ සාමූහිකය පෙන්වාදෙයි.

මහජන ආරක්ෂක ඇමැතිවරයා වෙත ලිපියක් යොමුකරමින් නීතිඥ සාමූහිකය අවධාරණය කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී රටක “ජනතාවගේ අධිකරණ බලය” ක්‍රියාත්මක කරන්නේ අධිකරණය විසින් බවත්, අධිකරණ පරිපාලනය නැමති වැදගත් ක්ෂේත්‍රය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතලවලට ගරු නොකර විධායක අංශයේ කිසිදු ඇමැතිවරයකුට ක්‍රියා කළ නොහැකි බවත්ය.

රටේ පවතින නීතියට අනුකූලව දේශබන්දු තෙන්නකෝන්ට නඩු පැවරීමේ අවශ්‍යතාව පිළිබඳව තමන් නීතිපතිවරයාට කරුණු දක්වා තිබෙන බවද නීතිඥ සාමූහිකය සඳහන් කරයි.

අදාළ ලිපියේ මෙසේද සඳහන් වේ.

“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූලව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් කොමිසම මෙතෙක් අපොහොසත් වීම මහජන අවධානයට ලක්විය යුතු කරුණකි….අපේ රටේ පොලිසියේ ඉහළ වෘත්තීය ප්‍රමිතීන් සහතික කිරීමේ වගකීම ඉටු කිරීමේදී ඔවුන් මේ සම්බන්ධයෙන් නිහඬව සිටීම මහජන විශ්වාසය කඩකිරීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, වධහිංසා පනතේ සහ අනෙකුත් නීතිවල සහ අධිකරණ තීන්දු වල දක්වා ඇති පරිදි නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ “යුක්තිය” යන්නෙහි සැබෑ අරුත කරුණාකර අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් අපි මෙම ලිපිය අවසන් කරන්නෙමු. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ඇමැතිවරයකු ලෙස ඔබ ඒකාධිපති පාලනයක් ලෙස හඳුන්වන පාලන වර්ගයක විධායක බලතල ක්‍රියාත්මක කරනවා සේ කටයුතු කිරීම කණගාටුදායකය.”

42.31%
17.27%
32.76%