September 15, 2024

ආගමන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පෝලන්තයට ගිය ගමන දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟ අර්බුදයට ප්‍රතිචාරයක් නොව ටෙන්ඩර් අවශ්‍යතා සම්බන්ධ සාමාන්‍ය පරීක්ෂණයක් බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසා තිබේ.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර නිෂ්පාදනය සඳහා වූ මුල් ටෙන්ඩර් ගිවිසුමේ නිලධාරීන් දෙදෙනකු ඇතුළත් පරීක්‍ෂණ චාරිකාව නියම කර තිබූ එකක් බව ඔහු සඳහන් කර ඇත.

ඕනෑම ප්‍රධාන ටෙන්ඩරයකදී අදාළ නිෂ්පාදනය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවෙන් නැව්ගත කිරීමට පෙර පරීක්ෂා කිරීම සිදුවන් බවත් මෙම සංචාරය එම සම්මත ක්‍රියාවලියේ කොටසක් බවත් ඔහු පවසයි.

කෙසේවෙතත් එම කණ්ඩායම පෝලන්තයෙන් ආපසු පැමිණෙන්නේ කවදාදැයි තමා නොදන්නා බව ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විද්‍යුත් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සම්බන්ධ විවිධ අභියෝග සමඟ පොරබදමින් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එහි පරිශ්‍රයේ දිගු පෝලිම් සහ මාර්ගගත වෙන්කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇත.

මෙම ගැටලු මධ්‍යයේ, පෝලන්තයේ නිෂ්පාදනය කෙරෙන විදේශ ගමන් බලපත්‍ර 50,000ක ආරම්භක නව තොගයක් ඔක්තෝබර් මාසයේදී අපේක්ෂා කෙරේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පසුගියදා නිරීක්ෂණ චාරිකාවේ වැදගත්කම අවධාරණය කළ අතර, විදේශ ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය සහ අනුකූලතාව සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කොටසක් බව සඳහන් කළේය.

මේ අතර විද්‍යුත් වීසා ක්‍රමය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදුන් අධිකරණ අතුරු නියෝගය පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන් ඉලුක්පිටියට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබේ.

IVS-GBS සහ VFS Global පුද්ගලික සමූහ ව්‍යාපාරය සමඟ වීසා නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව නවතා දැමූ අගෝස්තු 2 වැනි දින නිකුත් කරන ලද අධිකරණ නියෝගවලට පාලක ජනරාල්වරයා අවනත නොවීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට ප්‍රතිචාර දක්වමින් ඇමැති අලස් ප්‍රකාශ කර තිබුණේ විද්‍යුත් වීසා ක්‍රමය සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග සුදුසු අධිකරණ මාර්ග ඔස්සේ විසඳා ගැනීම සඳහා එම ප්‍රශ්නය නීතිඥවරුන්ට භාර දෙන බවයි.