December 1, 2023

විශ්‍රාම දීමනා, ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා සූත්‍රයක් සකසන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශය ලබාදී ඇත.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, විශ්‍රාමිකයන්ගේ සංගම් නියෝජිතයන් ද, එම රැස්වීම සඳහා කැඳවා තිබිණි.

දැනට රටේ සක්‍රීය විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ 07කට අධික වේ.

ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක දීමනාවක් ලබාදුන්නද, විශ්‍රාමිකයන්ට වැඩිකර ඇත්තේ මසකට රුපියල් 2500 ක් පමණක් බව කාරක සභාව හමුවේ විශ්‍රාමික සංගම් පෙන්වාදුන්නේය.

ඔවුන් කියාසිටියේ වැටුප් වැඩිවීම හා සළකා බලන විට විශ්‍රාම වැටුප් වැඩි වී ඇත්තේ 25%ක ප්‍රමාණයකින් පමණක් බවයි.

එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද විශ්‍රාමික සංගම් නියෝජිතයෝ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ.

වසරකට විශ්‍රාමිකයන් 26,000 ක් පමණ සක්‍රීය තත්ත්වයට එකතු වන අතර, 20000 ක් පමණ මියයෑම හේතුවෙන් විශ්‍රාමික ලැයිස්තුවෙන් ඉවත් වන බවද එහිදී අනාවරණය විය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා මාසිකව වෙන්කෙරෙන මුදල රුපියල් බිලියන 413 කි.

42.31%
17.27%
32.76%