March 21, 2025

මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී.

නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු සීමාව සපුරාලන බවයි.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු 18 වන දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.

මෙම පනත් කෙටුම්පත යටතේ පුද්ගල ආදායම් බදු (PIT) සහනය වාර්ෂිකව රු. 1,200,000 සිට රු. 1,800,000 දක්වා වැඩිකිරීමේ යෝජනාව කමිටුවේ අවධානයට ලක්විය.

එසේම ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මගින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීම, සේවා අපනයනය 15% අනුපාතයකින් ආදායම් බද්දට යටත් කිරීම සහ පොලී ආදායම හෝ වට්ටම මත රඳවා ගැනීමේ බදු (WHT) අනුපාතය 5% සිට 10% දක්වා වැඩි කිරීමට ද මෙම සංශෝධනය මගින් යෝජනා ඉදිරිපත් කර ඇත.

උපයන විට ගෙවීමේ බදුවලට අදාළ (PAYE) දත්ත විශ්ලේෂණය සලකා බැලූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පවතින දත්තවල දෝෂයක් ඇති බව නිගමනය කළේය.

ඒ අනුව, කාරක සභාවට නිවැරදි දත්ත විශ්ලේෂණයක් ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

තවද, බදු ගෙවීම, ආනයනය, අපනයනය කිරීම හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඕනෑම සේවාවක් ලබාගැනීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබාගැනීම ක්‍රියාත්මක නොවන බව මෙහිදී අනාවරණය විය.

මෙම ක්‍රියාවලිය නිවැරදි ලෙස සිදු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තා කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදීම සිදුවිය.

ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මගින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීමේ යෝජනාව සලකාබැලූ කාරක සභාව, කැසිනෝ නියාමකයකු ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පළකළේය.

තවද, පසුගිය වසර 5 තුළ කැසිනෝ හරහා ලැබුණු ආදායම පිළිබඳව කමිටුව විසින් මීට පෙර ඉල්ලා සිටි නිසි දත්ත ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳව ද කාරක සභා සභාපතිවරයා විසින් සිය අප්‍රසාදය පළකරන ලදී.

බදු අභියාචනය සඳහා ගෙවීමට නියමවූ බදුමුදලින් 25% ක් ගෙවීමට සිදුවීම පිළිබඳව ද කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී.

අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී බැංකු ඇපකරයක් වෙනුවට මුදල් තැන්පතුවක් ඉල්ලා සිටීම කෙතරම් දුරට සදාචාරාත්මකද යන්න කමිටුව ප්‍රශ්න කළේය.

රජයට ලැබිය යුතු ආදායම ගෙවීමෙන් වැළකී සිටීම සඳහා ජනතාව අභියාචනා ක්‍රියාවලිය යොදා ගන්නා බවත්, එබැවින් බැංකු ඇපකරයක් වෙනුවට මුදල් තැන්පතුවක් යෝජනා කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මෙහිදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා නඩු විශ්ලේෂණය කර අදාළ දත්ත ලබා දෙන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, විජේසිරි බස්නායක, නිමල් පලිහේන යන පිරිසද සහභාගී වූහ.