May 30, 2024

ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනෙකු පසුගියදා ඕමානයේදී සැකකටයුතු ලෙස මියයෑමට හේතුව නිශ්චිතව අනාවරණ කර ගැනීමට රෝහල් බලධාරීන්ට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

මෙම ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනා හෘදයෙන් ශරීරයට අවශ්‍ය තරම් රුධිරය පොම්ප කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මිය ගොස් ඇති බවට හෙළිවී තිබුණ ද එසේ වී ඇත්තේ මන්ද යන්න මෙතෙක් සොයාගැනීමට නොහැකි වී තිබේ.

ඕමානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් හෙළිදරව් කර ඇත්තේ ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනාම නිවසක් තුළ මියගොස් සිටියදී ඕමාන පොලිසිය විසින් සොයා ගත් බවයි.

පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අතරින් තිදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා රෝහල්ගත කර පසුව පොලිස් භාරයට ගෙන ඇත.

මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අතරින් එක් අයකු සංචාරක වීසා මත පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා ඕමාන් නේවාසික කාඩ්පත් හිමිකරුවන් බව ශ්‍රී ලංකා දූත මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

පින්තාරු කරන්නන් ලෙස සහ ආපනශාලාවල සේවය කළ තරුණයන් මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

ඕමානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් මෙම මරණ පිළිබඳ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට දන්වා ඇති අතර, පසුව විදේශ අමාත්‍යාංශය ඔවුන්ගේ පවුල්වලට දැනුම් දීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%