March 22, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට නව පත්වීම් තුනක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව එම පත්කිරීම් එහි විධායක කමිටුව විසින් අනුමත කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකර ඇති අදාළ පත්විම් තුන පහත පරිදි වේ;

– අනූෂ සමරනායක – ජාතික වේග පන්දු පුහුණුකරු
තුන්වැනි මට්ටමේ සුදුසුකම්ලත් පුහුණුකරුවකු වන අනූෂ සමරනායක 2008 සිට 2015 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ජාතික වේග පන්දු පුහුණුකරු’ ලෙස කටයුතු කර තිබේ. ඔහු වසර දෙකක කාලයක් සඳහා මාර්තු 6 වැනි දින වැඩ භාරගත් අතර, සියලුම ජාතික කණ්ඩායම්වල ‘වේග පන්දු යැවීම’ අංශය කෙරෙහි අවධානය යොමුකරනු ඇත.

– වෛද්‍ය හෂාන් අමරතුංග – ක්‍රීඩා කාර්ය සාධන පෝෂණවේදියෙක්
වෛද්‍ය හෂාන් අමරතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රීඩා කාර්ය සාධන පෝෂණවේදියකු ලෙස එක්වීමට පෙර කොළඹ ජාතික රෝහලේ සායනික පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ රෙජිස්ට්‍රාර්වරයා ලෙස සේවය කරමින් සිටියේය. වසරක කාලයක් සඳහා පෙබරවාරි 06 වැනි දින පත් කරන ලද ඔහු 19න් පහළ මට්ටමේ සිට ජාතික කණ්ඩායම්වල පෝෂණ අංශ කෙරෙහි අවධානය යොමුකරනු ඇත.

– ජොනතන් පෝටර් – භෞත චිකිත්සක
ජොනතන් පෝටර් ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධවීමට පෙර ඕස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස සේවය කර තිබේ. ඔහු වසර දෙකක කාලයක් සඳහා මාර්තු 01වැනි දින රාජකාරි භාර ගත් අතර 19න් පහළ මට්ටමේ සිට සියලුම ජාතික මට්ටමේ කණ්ඩායම් කෙරෙහි අවධානය යොමුකරනු ඇත.