January 8, 2024

ඉන්දියාවට සහ එරට අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිව සමාජ මාධ්‍යවල සිදුකළ පළකිරීම් හේතුවෙන් දෙරට අතර මතභේදයක් ඇති කළ මාලදිවයිනේ ඇමැතිවරුන් තිදෙනකුගේ වැඩ තහනම් කිරීමට මාලදිවයින් රජය පියවර ගෙන තිබේ.

“අසල්වැසි ඉන්දියාවට අපහාස වන ආකාරයේ සමාජ මාධ්‍යවල ඇතැම් පළකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යංශය අද ප්‍රකාශයක් නිකුත් කළා,රජයේ තනතුරු දරමින් සමාජ මාධ්‍යවල එවැනි පළකිරීම් කළ අයගේ රැකියා දැන් අත්හිටුවා ඇත,” යනුවෙන් මාලදිවයින් රජය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.

මාලදිවයිනේ ඇමැතිවරුන් වන Maryam Shiuna, Malsha Sharef සහ Mahzoom Majid යන අයගේ වැඩ මෙලෙස තහනම් කර ඇත.

මෙම ගැටලුව ආරම්භ වූයේ මාලදිවයිනේ මෙම ඇමැතිවරුන් සහ තවත් සමහර නායකයන් ඉන්දීය අගමැති මෝදිගේ මෑත කාලීන ලක්ෂද්වීප් සංචාරයේ ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් පළ කිරීමෙන් පසු ඔහුට නින්දා සහගත ප්‍රකාශයන් පළ කිරීමත් සමඟය.

අගමැති මෝදි එහිදී සිදුකළ ස්නොර්කරින්හි ඡායාරූප සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිරගොස් තිබිණි.

එමගින් මාලදිවයින වෙනුවට විකල්ප සංචාරක ගමනාන්තයක් ලෙස ඉන්දියාවේ කුඩා දූපතක් යෝජනා කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් පොළඹවා තිබිණි.