April 1, 2025

ව්‍යාජ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර සමඟ ග්‍රීසියට යෑමට උත්සාහ කළ බංග්ලාදේශ ජාතික තරුණියන් තිදෙනෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්තු 30 වැනි දින සවස 5:25ට පිටත් වීමට නියමිතව තිබූ GF-145 ගල්ෆ් එයාර් ගුවන් යානයට ගොඩවීමට උත්සාහ කිරීමේදීය.

සැකකාරියන් අවුරුදු 22, 23 සහ 25 වයස්වල පසුවන්නියන්ය.

ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර පිළිබඳ සැක පළකළ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සඳහා ආගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා නිරීක්ෂණ ඒකකයට භාර දී ඇත.

තාක්ෂණික පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ උසස් තාක්‍ෂණික ක්‍රම භාවිත කරමින් ග්‍රීක වීසා ව්‍යාජ ලෙස සකස් කර ඇති බවයි.

සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන්තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.