April 27, 2025

තනතුරේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ විමර්ශනය කරන පරීක්ෂකයන්ට ප්‍රකාශයක් ලබා දීමෙන් පසු තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ආරක්ෂාව ලබා දෙන ලෙස මාතර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා ඉල්ලා තිබේ.

පොලිස්පතිවරයාට, අපරාධවල වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට සහ අපරාධවල වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ සහාය සහ ආරක්ෂණය වෙනුවෙන් ඇති පොලිසියේ අංශය වෙත නියෝජ්‍ය පොලිස්පතිවරයා ආරක්ෂාව ඉල්ලා ලිපිය යවා තිබේ.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ද අප්‍රේල් 10 වැනි දින දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබා දුන් විට නියෝජ්‍ය පොලිස්පතිවරයා මුහුණ දී ඇති බව කියන මරණ තර්ජන පිළිබඳ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝජ්‍ය පොලිස්පති සොයිසාට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස නියෝග කර තිබිණි.

2023 දෙසැම්බර් 31 වැනි දින එම පරිශ්‍රය අසල සිදු වූ වෙඩි තැබීමට පෙර W 15 හෝටලය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා තෙන්නකෝන් තමාව සම්බන්ධ කර ගත් බවට විමර්ශකයන්ට ප්‍රකාශයක් ලබා දීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පති සොයිසාට මරණ තර්ජන එල්ල වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ඇප ලබා දීමෙන් පසු අධිකරණ පරිශ්‍රයට වාහනයක් ගෙන ඒම සඳහා කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබියදී එසේ වාහනයක් ගෙන්වා ගැනී සම්බන්ධයෙන් ද තෙන්නකෝන්ට එරෙහිව අධිකරණ අපහාස චෝදනා ගොනු කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට නියෝග කර තිබේ.

පිටස්තර පුද්ගලයන්ගේ වාහන අධිකරණයට ඇතුළුවීම තහනම් කර තිබියදීත්, එම වාහනයට අධිකරණ පරිශ්‍රයට ඇතුළුවීමට කිසිවකු සහාය වී ඇත්දැයි විමර්ශනය කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

මේ අතර, තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන විමර්ශන කමිටුවට සහාය වීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සිව් දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පත් කර තිබේ.

පොලිස් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සහකාර පොලිස් අධිකාරී පී. රොහාන් විජයකෝන් විසිනි.

කොමිසමට සහාය වීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා යන අය ද නම් කර ඇත.

කොමිසමේ ප්‍රධානත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දරනු ලබන අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිටුවේ සභාපති නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක සෙසු සාමාජිකයෝ වෙති.

කොමිසම දැනටමත් දෙවරක් පාර්ලිමේන්තුවේදී රැස්වී තීරණ කිහිපයක් ගෙන ඇත.

ඔවුන් හෙට (28) නැවතත් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පෙර තෙන්නකෝන්ට එරෙහි චෝදනා පළමුව විමර්ශනය කිරීමට කොමිසම තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ.