January 24, 2024

පසුගිය ඉරිදා (21) දින දකුණු ඉන්දීය නිළියන් කිහිපදෙනකුගේ සහභාගීත්වයෙන් හැටන් නගරයේ පැවති ජාතික තෛපොංගල් උත්සවය පිළිබඳව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් විසින් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබේ.

රට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින අවස්ථාවක රාජ්‍ය ආයතන කිහිපයක් විසින් මෙම උත්සවය සංවිධානය කර ඇති බව පෙන්වා දීමත් සමඟ මෙම උත්සවය සඳහා දකුණු ඉන්දීය නිළියන්ට ආරාධනා කර තිබීමත්, ඒ සඳහා දරන ලද වියදම් පිළිබඳවත් විවේචන එල්ල වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් කරුණු 9කින් සමන්විත ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමැතිවරයා සදහන් කළේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ජාතික තෛපොංගල් උත්සවය සංවිධානය කළ බවයි.

දකුණු ඉන්දීය නිළියන්ට එම උත්සවය සඳහා අරාධනා කිරීමට හේතු ලෙස, සංචාරක කර්මාන්තය නඟා සිටුවීමටත්, තමිල්නාඩුව සමඟ දිගුකාලීන සබඳතා වර්ධනය කර ගැනීමටත්, කාන්තාවන් සවිබල ගැන්වීමටත්, සංස්කෘතික ප්‍රබෝධය සඳහාත් බවද ඔහු එම ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

එසේම, ජාතික තෛපොංගල් උත්සවයට අදාළ වියදම් සම්බන්ධයෙන් පැතිර යන ගැටළු විසඳීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%