January 16, 2024

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම මෙරට පාරිභෝගික ජනතාවට ද එමගින් සැලකිය යුතු ප්‍රතිලාභ අත්වන බවට කිසිදු සැකයක් නොමැති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ඒ සඳහා ඉදිරිපත්වන ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා රජය සහතික කරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර ඇති ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ඊයේ (15) පැවති “හරිත තාක්ෂණ සංසදය” (Green Tech Forum) අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

“බලශක්තියෙන් සුරක්‍ෂිත ශ්‍රී ලංකාවක් කරා මාවත සැකසීම” යන තේමාව යටතේ සිය දේශනය සිදු කළ ජනාධිපතිවරයා, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව තුළ ඇති ඉහළ විභවය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇතිකිරීම වෙනුවෙන් පසුගිය වසර 02 තුළ රජය විසින් ගත් පියවර ද එහිදී අනාවරණය කර ඇත.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් තිබෙන බවත්, 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, ඔහු පවසා තිබේ.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%