July 29, 2024

සෑම ජනාධිපතිවරණයකදීම අපේක්ෂකයන් දහ දොළොස්දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් පෙනී සිටීම සාමාන්‍ය සංසිද්ධියකි.

පෙර පැවති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව බොහෝවිට එම තරඟය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු දක්වා පටු වන අතර තුන්වැන්නා පළමු දෙදෙනාට තරමක් දුරස්ථව පසුවෙයි.

නීතියට අනුව සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

කෙසේවෙතත්, කිසිදු අපේක්ෂකයකු සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නේ නම් එය සංකීර්ණ තත්ත්වයකි.

එවිට සලකුණු කරන ලද දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීමට හේතු වේ.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සහ එම කොමිසමේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ් ප්‍රකාශ කරන පරිදි එය සිදු වන්නේ මෙලෙසය.

උදාහරණයක් ලෙස A, B, C D සහ E යනුවෙන් අපේක්ෂකයන් පස් දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනා විසින් ලබාගත් වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් ගනිමු.

Aට ඡන්ද 40, Bට ඡන්ද 35, Cට ඡන්ද 15 , Dට ඡන්ද 6 සහ Eට ඡන්ද 4 ලැබී ඇතැයි උපකල්පනය කරමු.

මෙම අවස්ථාවේ දී A සහ ​​B අතර පළමු හා දෙවැනි අපේක්ෂකයන් ලෙස තරගය පවතී.

ඔවුන් ඉතිරිවූ අපේක්ෂකයන් ලෙස සැළකේ.

ඔවුන්ගේ ඡන්ද පත්‍රිකාවල සලකුණු කර ඇති දෙවැනි හෝ තෙවැනි මනාප දෙවැනි වටයේ ගණන් කිරීම සඳහා සළකා බලනු නොලබන්නේ ඔවුන් දැන් ඉතිරිව සිටින එකම අපේක්ෂකයන් වී අනෙක් අය තරඟයෙන් ඉවත් කර ඇති බැවිනි.

මීළඟ පියවර ලෙස C සඳහා ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා එකින් එක සළකා බලනු ලැබේ.

ඡන්ද දායකයකු තම පළමු මනාපය C වෙත සහ දෙවනුව A හෝ B සඳහා ලකුණු කර ඇත්නම්, එය A හෝ B සඳහා ඡන්දයක් ලෙස සළකනු ලැබේ.

ඉන්පසුව, මෙම ඡන්ද පත්‍රිකාව A හෝ B සඳහා ඇති ඡන්ද පෙට්ටියට දමනු ලැබේ.

මෙම ඡන්ද පත්‍රිකාවේ සලකුණු කර ඇති තෙවැනි මනාපය නොසළකයි.

එසේම C සඳහා පළමු මනාපය සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක් D හෝ E සඳහා දෙවැනි හෝ තෙවැනි මනාප සලකුණු කර ඇත්නම් ඔවුන් දෙදෙනා තරඟයේ නොමැති හෝ ඉවත් වූ අපේක්ෂකයන් නිසා එයද සළකා බලනු නොලැබේ.

එලෙසම, ඡන්ද දායකයකු පළමු මනාපය Cට, දෙවනුව D හෝ Eට සහ තෙවනුව A හෝ B ට ඡන්දය සලකුණු කරන්නේ නම්, එය A හෝ Bට තුන්වැනි මනාප ඡන්දයක් ලෙස සළකනු ලැබේ.

මේ ආකාරයට D සහ E සඳහා පළමු මනාපය ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවලින්ද ඉතිරිවී සිටින අපේක්ෂකයන් ලෙස A සහ ​​B සඳහා වලංගු ලෙස සලකුණු කර ඇති දෙවැනි සහ තෙවැනි මනාප සඳහා පරීක්ෂා කරනු ලැබේ.

ඒ ආකාරයෙන්, Aට තවත් ඡන්ද 3ක් එකතු වී ඔහුගේ මුළු එකතුව 43 දක්වා ඉහළ ගියැයි සිතමු සහ Bට දැන් තවත් ඡන්ද 10ක් ලැබී මුළු එකතුව 45ක් ලැබී ඇතැයි සිතමු.

මුළු ඡන්ද එකතුව දැන් 88කි.

එහි සියයට 50 සීමාව වන්නේ 44ය.

ඒ අනුව B ඡන්ද 45ක් ලබා ගැනීම යනු සියයට 50කට වැඩි ප්‍රතිශතයක් ලබාගෙන සිටීම නිසා B ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරයි.

දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීමෙන් පසු දෙදෙනාගෙන් කිසිවකුට අමතර ඡන්ද නොලැබුණහොත් පළමු වටයේම වැඩිම සංඛ්‍යාවක් හිමි ‘A’ අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

එසේම අවසානයේ දෙදෙනාටම සමාන ඡන්ද සංඛ්‍යාවක් ලැබුණහොත් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා දිනුම් ඇදීමක් සිදු කිරීමට මැතිවරණ කොමිසමට හැකිය.