July 6, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පසුගියදා අක්තපත්‍ර බාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 09 දෙනක් සඳහා “ඇල්ල ඔඩිසි” චාරිකාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සංවිධානය කර ඇත.

මෙම චාරිකාව මෙරට නිදහස මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ට 75 වසරක් සැපිරීම සනිටුහන් කරමින් සංවිධානය කෙරුණු අතර, එය අන්තර්ජාතික ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ කල්පවත්නා සබඳතා තවදුරටත් පිළිඹිබු කර තිබේ.

මෙම චාරිකාව සඳහා මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේද සහභාගී වූහ.

කඳුකරය නැරඹීම සඳහා මෙම චාරිකාව ජූලි 01 සිට 03 යන දිනවල සංවිධානය කර තිබිණි.

මෙරට යටත් විජිත අතීතය සිහිපත් කරන විශේෂිත දුම්රියක් වන වයිස්රෝයි ස්පෙෂල් (Viceroy Special) දුම්රියෙන් දූත පිරිස ගමන්ගෙන ඇති අතර, ඔවුන් ඇල්ල මාර්ගය ඔස්සේ මහනුවර සිට නුවරඑළිය දක්වා ද ශාන්ත ක්ලෙයාර් ඇල්ල, නකල්ස් කඳුවැටිය සහ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය පිහිටි පට්ටිපොලට ද ගමන් කර ඇත.

අතීත යුගයේ භාවිතා කළ දුම්රිය සංඥා ක්‍රියාවලියක් සහ තවමත් මෙරට දුම්රිය මාර්ගවල ඉතා සූක්ෂම ලෙස පිළිපදින සංඥා ටැබ්ලට් පද්ධතිය නැරඹීමටද ඔවුන්ට අවස්ථාව සැළසී තිබේ.

මෙම දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගන්නා විට දැකිය හැකි 20 වන සියවසේ ඉදිකිරීමක්වන ඇල්ල ආරුක්කු නවයේ පාලම සහ දෙමෝදර දුම්රිය ගැටය ද මෙම දූත පිරිසට නැරඹීමේ අවස්ථාව උදාවී ඇත.

යටත් විජිත ඉතිහාසයෙන් හා ශ්‍රේෂ්ඨත්වයෙන් පිරුණු ජාතික උරුමයක් වන නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේදී විදේශිකයන් අතර ජනප්‍රිය ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට ද පේද්‍රෝ තේ වතුයායෙදී ලෝකප්‍රකට “ සිලෝන් ටී” තේ කෝප්පයක රස බැලීමට ද ඔවුන්ට අවස්ථාව හිමිව තිබේ.

නුවරඑළිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ හමුවීමට ද මෙම දූත මණ්ඩල ප්‍රධානීන්ට අවස්ථාව හිමි විය.

මෙම විශේෂ චාරිකාවට අනුග්‍රහය දක්වන ලද්දේ ඊට සහභාගි වූ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසිනි.