July 26, 2024

වළගම්බා රජ සමයට අයත් වසර 700ක පමණ ඉතිහාසයක් ඇති මහනුවර අලවතුගොඩ සමන් දේවාලය කඩා රජ සමයේ සිට එහි තැන්පත් කොට තිබූ මිල කළ නොහැකි කෞතුක වස්තූන් රැසක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දොරගුළු කඩා ඇතුළු වූ පිරිස පෞරාණික වටිනාකමින් යුත් දේවාභරණ, බුදුපිළිම මෙන්ම පින් කැටය පවා සොරාගෙන තිබෙන බව දේවාලයේ බස්නායක නිලමේ කුලතුංග බණ්ඩාර පවසයි.

මෙම සොරකම ඊයේ (25) අලුයම් කාලයේ සිදුව තිබෙන අතර දේවාභරණ නොමැති වීම නිසා මෙවර අලවතුගොඩ සමන් දේවාලයේ ඇසළ පෙරහර පැවැත්වීමේ අවදානමක් ද මතුව ඇතැයි බස්නායක නිලමේවරයා ප්‍රකාශ කළේය.

මෙයට පෙර ද අවස්ථා කිහිපයකදී සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන අලවතුගොඩ සමන් දේවාලයට නිසි ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස වගකිවයුතු අංශ වෙතින් කොතෙක් ඉල්ලීම් කළ ද මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොවූ බව බස්නායක නිලමේවරයා පවසයි.

රන්, රිදී හා පිත්තල යොදා නිර්මාණය කළ දේවාභරණ මෙන්ම මැණික් ගල් ඔබ්බවා සකස් කරන ලද දේවාභරණද අතුරුදන්ව ඇති බව දේවාලයේ කාරිය කරවනරාළ වන ආර්.එම්. බණ්ඩාර කීය.

දේවාලයේ ආරක්ෂාව සඳහා ග්‍රාම ආරක්ෂක නිලධාරියකු අනුයුක්ත කොට තිබූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැති අතර අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.