March 10, 2024

සුළු හා මාධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙනුවෙන් රජයේ බැංකු තුනකින් වෙන්කළ රුපියල් බිලියන 9ක මුදලක් අවදානමකට ලක්ව ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පවසයි.

ඔහු සඳහන් කළේ ‘සිරිකොත’ කේන්ද්‍රකර ගනිමින් ඊට අදාළ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

කැබිනට් මණ්ඩල තීරණයක අනුව සුළු හා මාධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙනුවෙන් සහන පොළියක් යටතේ ණය ලබාදීම සඳහා මහජන බැංකුව, ලංකා බැංකුව සහ රජරට සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු මගින් රුපියල් බිලියන 9ක මුදලක් වෙන්කිරීමට තීරණය කළ බව ඔහු පෙන්වාදෙයි.

එහෙත් එම ණය ලබාදීම සඳහා සිරිකොත කේන්ද්‍රකර ගනිමින් නම් ලැයිස්තුවක් සකස්වෙමින් තිබෙන බව තහවුරු කරගත් ආරංචි මාර්ගවලින් වාර්තා වී ඇති බව මුදිත් පෙරේරා පවසයි.

පොළොන්නරුවේ දී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, සිරිකොතට හිතවත් සහල් සංගමයක් මගින් එම මුදල ඩැහැගැනීමේ උත්සාහයක නිරතව සිටින බවයි.

එම සංගමයට ගොවියාගේ වී මිලදී ගැනීමට හෝ සහල් නිෂ්පාදනයට උනන්දුවක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය බැංකු සතුව ඇත්තේ සිරිකොතේ මුදල් නොවන බවත් ඔවුන්ට අවශ්‍ය පරිදි බැංකුවේ මුදල් බෙදාහැරීමට ඉඩදිය නොහැකි බවත් මුදිත් පෙරේරා සඳහන් කළේය.

එසේම වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට රජය මැදිහත් නොවුණහොත් ඉදිරියේ දී සහල් මිල දැරිය නොහැකි ලෙස ඉහළ යනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීය.

42.31%
17.27%
32.76%