April 10, 2024

Port City BPO (Private) Limited, IVIVA PTE LTD, Echelon Trade (PVT) LTD සහ 99X Technology AS යන සමාගම් කොළඹ වරාය නගරයේ(පොර්ට් සිටි) ව්‍යාපාර ආරම්භ කිරීමේ සුදානමින් සිටින බවත්, එම සමාගම්වලට සහන ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දනුම්දී ඇත.

ඒ අනුව, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති බව කියන මෙම සමාගම් ද්වීතීයික ව්‍යාපාර වශයෙන් නම් කර, එම සමාගම් වෙත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ II උපලේඛනය යටතේ සඳහන් පනත්වලින් නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රධානය කිරීමටත්, ඒ් සඳහා වන නියමයන් ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

එම සමාගම් ඉදිරියේදී කටයුතු කරනු ඇත්තේ පහත දැක්වෙන ක්ෂේත්‍රවලය.

– Port City BPO (Private) Limited – විදේශීය විනෝදාස්වාද කර්මාන්තය සඳහා ව්‍යාපාර ක්‍රියාවලි බාහිර ප්‍රභවයන්ට ලබා දීමේ සේවාවන් සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා.

– IVIVA PTE LTD – කාබන් අවම ආර්ථිකයකට මාරු වීම සඳහා ගෝලීය සේවාලාභීන්ගේ විවිධ කාර්යයන්ට සහාය වීම පිණිස සුහුරු නගර තොරතුරු තාක්ෂණය මඟින් බලගැන්වූ නිෂ්පාදන සහ විසඳුම් නිර්මාණය කරනු ලබන තොරතුරු තාක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා.

– Echelon Trade (PVT) LTD – බහුවිධ ගෝලීය වෙළඳපොළවල් හරහා රෙදිපිළි, ඇඟළුම්, සුඛෝපභෝගී අත් ඔරලෝසු, රත්‍රන් හා මැණික්, විදුලි උපකරණ සහ රූපලාවන්‍ය භාණ්ඩ වෙළඳාම පිණිස ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා.

– 99X Technology AS – නිෂ්පාදන ඉංජිනේරු සහ නවෝත්පාදනය මෙන්ම වෙබ් අඩවි වැඩිදියුණු කිරීම, ජංගම යෙඳවුම් වැඩි දියුණු කිරීම මඟින් තථ්‍ය පර්ශීලක ගැටලුවලට ඩිජිටල් විසඳුම් සැකසීම සඳහා ගෝලීය ස්වාධීන මෘදුකාංග ව්‍යාපාරිකයන්ට සේවය සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා.