June 13, 2023

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව පවසයි.

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව, ජාතික ආරක්ෂාව පිළිබඳ සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ විමර්ශනයකින් තොරව සකසන ලද්දක් බවත්, එය ආංශික කාරක සභා මූලධර්මවලට පටහැණි බවත්, මහාචාර්යවරයා සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමින් මහාචාර්යවරයා මෙසේ ප්‍රකාශ කරයි.

මේ අර්බුදකාරී අවස්ථාවේ මෙම සමාගම පෞද්ගලීකරණය තුළින් ආණ්ඩුවට සංචිත ගොඩනගා ගැනීමට හැකි වන බවත්, බදු වැඩි කිරීමේ පීඩනය අඩු කළ හැකි බවත්, මහාචාර්යවරයා පවසයි.

දේශීය සමාගම්වලට, අපනයනකරුවන්ට හා ජනතාවට අවශ්‍ය සේවාව ලැබෙන්නේ තරගකාරී ක්ෂේත්‍රයකින් පමණක් වන අතර, එවැනි ක්ෂේත්‍රයන්ගෙන් ආණ්ඩුවට බදු ආදායම් සහ දිගු කාලීන සංචිත ගොඩනගා ගැනීමට හැකි බවද මහාචාර්ය රෝහන සමරජීව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

නියාමන පද්ධතියක් මඟින් සහ නීති මඟින් පුළුල්ව මුළු ක්ෂේත්‍රයම ජාතික ආරක්ෂාවට අදාළව පාලනය කළ යුතු බවත්, එසේ නොමැතිව එක සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයක් රඳවා ගත් පමණින් කිසිඳු ප්‍රශ්නයක් විසදෙන්නේ නැති බවත්, මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%