March 3, 2024

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අයගේ රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවීම පිළිබඳ රජය සළකා බැලීමට නියමිත බව වාර්තා වේ.

අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ විසින් කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව පත්කිරීමට නියමිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මෙම යෝජනාවද ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු සඳහන් කර ඇත.

මාර්ග අනතුරු අවම කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා කථානායක මහින්ද යාපා අබේවර්ධනට ලිඛිතව දැනුම් දුන් බව ද ඇමැතිවරයා පවසා ඇත.

වටිනා ජීවිත විනාශ කරන සහ පුර්ණ හෝ අර්ධ වශයෙන් ආබාධිත තත්ත්වයට පත් කරන රිය අනතුරු පිළිබඳ තමන් සිය ලිපියෙන් කථානායකවරයාගේ අවධානය යොමු කර බව ඇමැතිවරයා පවසයි.

හදිසි අනතුරු හේතුවෙන් රෝහල් පද්ධතියට ද අමතර වියදම් දැරීමට සිදුව ඇති අතර එය සමස්ත ආර්ථිකයටම බලපාන බවද ඔහු සඳහන් කර තිබේ.

හදිසි අනතුරු හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වී ආදායම් අහිමිවීම ද ආර්ථිකයට බලපාන බව ඇමැතිවරයා පෙන්වාදී ඇත.

පසුගිය වසරේ රිය අනතුරු 2,200කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති අතර රිය අනතුරු හේතුවෙන් මරණ 2,310ක් ද සිදුව තිබේ.

රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 6,1995 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර 9,725 දෙනෙකු බරපතළ නොවන තුවාල ලබා ඇති බවත් අනතුරුහේතුවෙන් බොහෝ දුරට පදිකයන් සහ යතුරුපැදි ධාවකයන් මිය ගොස් ඇති බව නිරීක්ෂණය වන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

එබැවින් අසාමාන්‍ය ලෙස ඉහළ යන රිය අනතුරු අවම කිරීම සඳහා සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස තමන් ඉල්ලා සිටින බව ඇමැති විජේදාස රාජපක්ෂ පවසා ඇත.

මාස හතරක් ඇතුළත තේරීම් කාරක සභා වාර්තාව කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඊට අමතරව පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබියදීත් ක්‍රියාත්මක වීමට මෙම විශේෂ තේරීම් කාරක සභාවට බලතල ලබාදෙන නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

රථවාහන අනතුරුවලට තුඩුදෙන හේතු සහ සංශෝධනය කළ යුතු නීති ක්ෂේත්‍ර හඳුනා ගැනීම මෙම තේරීම් කාරක සභාවට පැවරෙනු ඇත.

ඇමැතිවරයා පවසා ඇත්තේ, නව මාර්ග නීති සම්පාදනය කර දඩ මුදල් වැඩි කරන ලෙස ද තමන් ඉල්ලා සිටින බවයි.

රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරු බලපත්‍ර තාවකාලිකව සහ සම්පූර්ණයෙන් අවලංගු කිරීමට හේතු වන කුසලතා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%