42.31%
17.27%
32.76%
November 30, 2023

රුධිර පාරවිලයන කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන චිකිත්සක ප්ලස්මා හුවමාරු කට්ටල (Therapeutic Plasma Exchange Kit) හිඟය හේතුවෙන් මාලිගාවත්ත වකුගඩු රෝහලේ රුධිර ප්ලස්මාව පෙරීමේ ප්‍රතිකාරය නැවැත්වීමට සිදුව ඇතැයි වාර්තා වේ.

එම උපකරණ කට්ටල නොමැති වීමෙන් ඉදිරි දින කිහිපයේදී වකුගඩු බද්ධ කිරීම් ද නවත්වාලීමට සිදුවන බවට එහි වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට පෞද්ගලික අංශයේ මෙම උපකරණ කට්ටල නොමැති බැවින් තත්ත්වය වඩාත් බරපතළ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රුධිර ප්ලස්මාවෙන් ප්‍රතිදේහ ඉවත් කිරීමට අවශ්‍ය වන අවස්ථාවලදී සහ වකුගඩු බද්ධ කරන අවස්ථාවන්හිදී චිකිත්සක ප්ලස්මා හුවමාරු කට්ටල අවශ්‍ය වේ.

විශේෂයෙන් වකුගඩුවක් බද්ධ කළ පසු ශරීරය එම වකුගඩුව ප්‍රතික්ෂේප කරමින් ඇති කරන ප්‍රතිදේහ ඉවත් කිරීම අනිවාර්යයෙන් කළ යුතු අතර එසේ කළ නොහැකි වුවහොත් රෝගියාගේ ජීවිතය බේරාගැනීමට කළ හැක්කේ බද්ධ කළ වකුගඩුව ඉවත් කිරීම පමණකි.

ජාතික වකුගඩු රෝහලේ මේ වන විටත් පොරොත්තු ලේඛනයේ රෝගීන් 11 දෙනෙක් සිටින අතර ඔවුන්ගේ සැත්කම් සිදුකිරීමට මෙම තත්ත්වය බලපෑමට ඉඩ ඇතැයි පැවැසේ.

එම උපකරණ කට්ටල මෙන්ම ඒ සමඟ භාවිත කරන විශේෂ ද්‍රාවණය වන ඒ.සී.ඩී සොලියුෂන්වලද බරපතළ හිඟයක් ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධව කළ විමසීමකදී විශේෂඥ වෛද්‍යවරයකු කියාසිටියේ සෞඛ්‍ය බලධාර්න් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය මත බොරු බියක් මවාපාන බව පෙනීයන බවය.

කෙසේවෙතත් මේ වන විටත් මෙකී ඖෂධ මෙරටට ගෙන්වා වරායේ පවතින බවත්, ඒවා මුදාගැනීමට මේ වනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලැබී නැති බවත්, ඔහු සඳහන් කර ඇත.(මව්බිම)

42.31%
17.27%
32.76%