July 10, 2023

එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් දැඩි ලෙස විපතට පත් ධීවරයින්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(10) නීතිපතිවරයාට නියෝග කළේය.

එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් විපතට පත්වූවන්ට පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට වන්දි මුදල් ගෙවා නොමැති බවට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කර තිබේ.

පෙත්සම්කාර සරත් ඉද්දමල්ගොඩ පියතුමා සහ මීගමුව සහ හලාවත නියෝජනය කරන ධීවරයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න, 2022 නොවැම්බර් මාසයේ සිට විපතට පත්වූවන්ට වන්දි ලැබී නොමැති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ සිව් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම් ඔක්තෝම්බර් 05 සහ 06 යන දිනවල විභාගයට ගැනීමට නියම කළේය.

පාරිසරික යුක්ති කේන්ද්‍රය, ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා සහ ධීවරයින් පිරිසක් විසින් එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් දැඩි ලෙස විපතට පත් ධීවරයින්ට වන්දි ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.