January 15, 2024

ලොව ධනවත්ම පුද්ගලයන් පස්දෙනාම මෑත වසරවලදී තවදුරටත් ධනවත් වී තිබේ.

ලොව ආර්ථික අසමානතාවට එරෙහිව සටන් කරන ඔක්ස්ෆෑම් ආයතනයේ වාර්ෂික අසමානතා වාර්තාවට අනුව, උද්ධමනය සැළකිල්ලට ගැනීමෙන් පසු 2020 වසරේ සිට මෙම ප්‍රකෝටිපතියන්ගේ ශුද්ධ වටිනාකම 114%කින් ඩොලර් බිලියන 869 දක්වා ඉහළ ගොස් ඇත.

වර්තමාන ප්‍රවණතා දිගටම පැවතුණහොත්, දශකයකින් ලොව පළමු ට්‍රිලියනපතියා ද බිහිවනු ඇති බව පැවසේ.

ඒ අතර, උද්ධමනය, යුද්ධය සහ දේශගුණික අර්බුදය සමඟ පොරබදමින් සිටින ගෝලීය වශයෙන් බිලියන 05කට ආසන්න ජනතාවක් තවදුරටත් දුප්පත් වී ඇත.

වත්මන් ගමන්මග අනුව දිළිඳුකම තුරන් කිරීමට වසර 230කට ආසන්න කාලයක් ගතවනු ඇති බවටයි පැවසෙන්නේ.

ෆෝබ්ස් සඟරාව විසින් සම්පාදනය කරන ලද දත්ත මත පදනම් වූ ඔක්ස්ෆෑම් වාර්තාව, ධනවත්ම පුද්ගලයන් සහ ලෝක නායකයන් කිහිපදෙනකුගේ ප්‍රභූ රැස්වීමක් වන ස්විට්සර්ලන්තයේ ඩාවෝස්හි වාර්ෂික ලෝක ආර්ථික සංසදයේ රැස්වීමේ ආරම්භයට සමගාමීව නිකුත් කර ඇත.

අසමානතාව වැඩිවෙමින් පවතින නමුත්, සමහර යහපත් කරුණු ඇති බව ඔක්ස්ෆෑම් ඇමරිකාහි ආර්ථික සහ වාර්ගික යුක්තිය පිළිබඳ අධ්‍යක්ෂ නබිල් අහමඩ් පවසයි.

කම්කරුවන් වැඩවර්ජන සහ ගනුදෙනු හරහා ඔවුන්ගේ වන්දි සහ සේවා කොන්දේසි වඩා හොඳ මට්ටමකට ගෙන්වා ගැනීමට සමත් වී ඇත.

එසේම, ඇතැම් රජයන් ඔවුන්ගේ පැත්තේ සිට, කම්කරුවන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යයි.

“අපි නව ස්වර්ණමය යුගයක සිටින නමුත් කම්කරුවන්, නියාමකයන්, වෘත්තීය සමිති සහ ප්‍රජා සංවිධායකයන් එහි පළුදුකිරීම් ඇතිකිරීමට පටන් ගෙන සිටිනවා,” යැයි අහමඩ් පැවසීය.

ධනය ඉහළ නංවා ගැනීම සැළකීමේදී ටෙස්ලා සහ ස්පේස්එක්ස් ඇතුළු සමාගම් කිහිපයක් පවත්වාගෙන යන එලොන් මස්ක් මෑත වසරවල විශාලම ජයග්‍රාහකයා වී තිබේ.

උද්ධමනය ගණනය කිරීමෙන් පසු ඔහුගේ ධනය නොවැම්බර් මස අග වන විට ඩොලර් බිලියන 245.5ක් දක්වා ඉහළ ගියේය.

ප්‍රංශ සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන LVMH බර්නාඩ් ආර්නෝල්ට් සහ ඔහුගේ පවුලේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 191.3ක් වූ අතර එය 111%කින් වැඩි වීමකි.

ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ගේ ධනය ඩොලර් බිලියන 167.4ක් වූ අතර එය 24%කින් වැඩිවීමකි.

ඔරකල් නිර්මාතෘ ලැරී එලිසන්ගේ ධනය ඩොලර් බිලියන 145.5ක් වූ අතර එය 107%කින් වැඩි වී තිබේ.

ඉහළම ධනවත්ම පුද්ගලයන් පස්දෙනාගේ ලැයිස්තුව ඇතුළත් ‘බර්ක්ෂයර් හැත්වේ’ ප්‍රධාන විධායක නිලධාරී වොරන් බෆට්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 119.2ක් දක්වා 48%කින් ඉහළ ගොස් ඇත.

සමස්තයක් වශයෙන්, ප්‍රකෝටිපතියන්ගේ ධනය 2020 සිට ඩොලර් ට්‍රිලියන 3.3කින් හෝ 34%කින් වර්ධනය වී ඇති අතර, ඔවුන්ගේ ධනය උද්ධමන අනුපාතයට වඩා තුන් ගුණයකින් වේගයෙන් ප්‍රසාරණය වන බව ඔක්ස්ෆෑම් වාර්තාව පවසයි.