October 20, 2023

හොරණ ප්‍රදේශයේ අවන්හලක දී පැහැරගත් කාන්තාවක් සිද්ධියෙන් පැය තුනකට පසු ඝාතනය කර තිබිය දී හොරණ පොලිසිය සොයාගෙන ඇත.

මෙම කාන්තාව බීම වර්ගයක් මිල දී ගෙන මේසයක වාඩි වී සිටින විට දී පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක් පැමිණ ඇයව බලහත්කාරයෙන් අවන්හලෙන් පිටතට රැගෙන යන ආකාරය අවන්හලේ සීසීටීවී දර්ශන වල දක්නට ලැබේ.

එම අවන්හලේ සේවකයන් සිද්ධිය පිළිබඳ ව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇති අතර, ඒ අනුව හඹාගිය හොරණ පොලිසියේ නිලධාරීන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ අත්බෑගය සොයාගෙන ඇත.

මෙහි දී ඇයගේ මව පවසා ඇත්තේ, තම දියණිය මීට මාස කිහිපයකට පෙර ප්‍රේම සම්බන්ධයක් අවසන් කිරීම හේතුවෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ සිටි එම පෙම්වතා ඇයට දිගින් දිගටම තර්ජන එල්ල කළ බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තරුණිය පහර කෑමකට ලක් වූ බව ද, ඇයගේ ආරක්ෂාව සඳහා බණ්ඩාරගම ප්‍රදේශයේ ඥාති ස්ථානයක රැඳී සිටි බවද මියගිය කාන්තාවගේ මව වැඩිදුරටත් පවසා ඇත.

තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා ලුහුබැඳ ගිය පොලිසිය ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර බණ්ඩාරගම – අඟුරුවාතොට මාර්ගයේ නිවසක තිබී සොයාගෙන ඇත.

එම පැහැරගැනීමට යොදාගත් රථය ද සොයා ගෙන ඇති අතර සැකකරු සහ සැකකරුට ආධාර කළ කාන්තාවත් ජ්‍යොතිෂවේදියකුත් මෙහි දී අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2023 ඔක්තෝම්බර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%