April 1, 2025

පසුගියදා ත්‍රිකුණාමලයේ ඇති වූ සිද්ධියකදී නිල ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරියකුගේ රාජකාරී කටයුතුවලට බාධා කළ පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බවට පොලිසිය අනතුරු අඟවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, කිසියම් පිරිසක් පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වී ඇති බවයි.

ඊයේ ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ රථවාහන අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව ඔහු පැවසීය.

“පුද්ගලයන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පසුව ඔවුන්ට පහරදෙන ආකාරය දැකගත හැකියි. පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්” යැයි ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

සෙසු සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇතත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.