April 3, 2024

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති 2024 ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය කණ්ඩායම් කළමනාකරුවන් දෙදෙනෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

ලංකාදීප පුවත්පතට අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ඊයේ දිනයේ මෙම විදේශ ගමන් තහනම 2024 ජුනි 13 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇත.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තවත් කාලයක් අවශ්‍ය බැවින් විදෙස් ගමන් තහනම මාස තුනකින් දීර්ඝ කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවය.

ඉන්දීය කළමනාකරු වයි.පටෙල් සහ ඔහුගේ සහකාර පචලෝඩියා ආකාෂ් වෙත 2024 මාර්තු 14 වැනි දින පනවා තිබූ සංචාරක තහනම මෙලෙස දීර්ඝ කර ඇත.

මහනුවර පැවති ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේදී තරඟ පාවාදීම සඳහා කළමනාකරුවන් දෙදෙනා තමන් වෙත පැමිණි බවට ශ්‍රී ලංකා විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයකු සහ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයකු චෝදනා කිරීමත් සමඟ පරීක්ෂණ ආරම්භ කෙරිණි.

තරග පාවාදීම් සම්බන්ධ වැරදි කිහිපයක් අපරාධයක් බවට පත්කළ පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව වේ.

හරීන් ප්‍රනාන්දු 2019 වසරේ ක්‍රීඩා ඇමැතිව සිටියදී හඳුන්වාදුන් නීති අනුව තරග පාවාදීම් සම්බන්ධයෙන් වරදකරුවන්ට වසර 10ක සිර දඬුවමක් සහ ඩොලර් 555,000ක දඩයක් පැනවිය හැකිය.