March 4, 2025

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තුවක්කුකරු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ තුවක්කුකරු බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

සමින්දු දිල්ෂාන් පියුමංග කඳනාආරච්චි නමැති එම සැකකරු 2024 දෙසැම්බර් 13 වන දින කඳාන ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව ද පොලිසිය පවසයි.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සැලසුම් සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය සැකකරුගෙන් දින 90ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටින අතර එහිදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලීසිය පවසයි.

27 හැවිරිදි වියේ පසුවන සැකකරු පසුගිය පෙබරවාරි මාසයේදී අළුත්කඩේ උසාවිය තුළදී නීතිඥයකු ලෙස වෙස්වලාගෙන පැමිණ ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩිතබා ඝාතනය කර තිබිණි.