February 2, 2025

දේශීය සැපයුම්කරුවන්ගේ (අතරමැදියන්) මිල ගණන් සහ කලාපීය/දේශීය මිල ගණන් අතර සැළකිව යුතු වෙනස්කම් හඳුනාගෙන ඇති බැවින්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ගෝලීය ඖෂධ නිෂ්පාදකයන් සමඟ සෘජුවම ගනුදෙනු කරමින් සැබෑ ඖෂධ මිල ගණන් පරික්ෂා කර බැලීමට සූදානම් වන බව වාර්තා වේ.

සමහර සමාගම් විසින් ඇතැම් ඖෂධ සම්බන්ධයෙන් දරන ඒකාධිකාරයන් බිඳ දැමීම සඳහා සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයන් සඳහා නව ලියාපදිංචි කිරීම් අනුමත කිරීම ද තම ආයතනය කඩිනම් කරමින් සිටින බව NMRA හි ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ Sunday Morning වෙත පවසා ඇත.

සමහර අයැදුම්පත් දිගු කාලයක් NMRA හි සිරවී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, හෘද රෝගීන්ට ලබාදෙන පැපවෙරින් හයිඩ්‍රොක්ලෝරයිඩ් එන්නත නිෂ්පාදනය කිරීම සඳහා දේශීය නිෂ්පාදකයකුට දැන් බලපත්‍ර ලබා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය 2018 සිට මහජන සෞඛ්‍ය අංශයට කුප්පියකට රුපියල් 34,000 සිට රුපියල් 76,500 දක්වා මිලකට අලෙවි කර ඇති බව හෙළිකිරීමෙන් පසු මෙම ඖෂධය අවධානයට ලක්විය.

දේශීය ආනයනකරු වූයේ ඉන්දියානු සමාගමක් වන මර්කරි ලැබෝරටරීස් ලිමිටඩ් වෙතින් ඖෂධය ලබාගත් යාඩෙන් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගමයි.

මෑතකදී යාඩෙන් විසින් පැපවෙරීන් නව තොගයක් සැපයීම සඳහා ලංසුවක් ඉදිරිපත් කළ විට, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයකු මෙම මිල විෂමතාව පෙන්වාදී ඇත.

ඒ අනුව ටෙන්ඩරය අවලංගු කිරීමට නිර්දේශ කරන ලද අතර, එමඟින් එම ඖෂධ කුප්පියක මිල රු. 370 දක්වා පහත හෙළීමට හැකියාව ලැබී තිබේ.

ඒ හා සමානව, අසාත්මිකතා වැළැක්වීම සඳහා දරුවන්ට ලබාදෙන ප්‍රොමෙතසීන් මුඛ ද්‍රාවණය බෝතලයකට රු. 1,200 සිට රු. 150 දක්වා අඩුකර ඇත.

NMRA දැන් තමන්ගේම අභ්‍යන්තර යොමුකිරීම් සහ කලාපීය මිල ගණන් අනුව මිල ගණන් පරීක්ෂා කිරීමේ ක්‍රමයක් භාවිත කරයි.

නිෂ්පාදකයන් විසින් පිරිනමනු ලබන අනුපාතයට ‘ප්‍රවර්ධන’ මිල ඇතුළත් කර ඇති නිසා සමහර ඖෂධ මිල ඉහළ මට්ටමක පවතින බව දැනගන්නට ලැබේ.

වෛද්‍යවරුන් හරහා ඖෂධ ප්‍රවර්ධනය කරගැනීමේ වෑයම වෙනුවෙන් වෙන්කෙරෙන පිරිවැය මෙයට ඇතුළත් වේ.

NMRA පවසන්නේ තවදුරටත් මෙයට ඉඩ නොදෙන බවයි.

42.31%
17.27%
32.76%