42.31%
17.27%
32.76%
September 21, 2023

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

පහතින් දැක්වෙන්නේ එම සම්පූර්ණ ප්‍රකාශයයි.

“2023 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම මුලින් යෝජිතව තිබුණේ 2023 ඔක්තෝම්බර් මසදීය. එහෙත් 2022 අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා මාස 03 කට ආසන්න කාලයක් ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රථිපල නිකුත් වූයේ 2023.09.04 දීය.

එහෙත් ඊට පෙර 2023.07.31 දින වන විට 2023 අ.පො.ස. උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවන අතර, අයදුම්කරුවන් 324,410කගෙන් ඉල්ලුම්පත්‍ර ලැබී තිබුණු අතර, ප්‍රථිපල නිකුත් කිරීමෙන් පසු 2023.09.18 දින වන විට නැවත අයදුම්පත් 18,473 ක් ලැබී ඇත. එම නිසා මේ වන විට අයදුම් කරන ලද මුළු අපේක්ෂක සංඛ්‍යාව 342,883 ක් වන අතර එම සංඛ්‍යාව 2022 පෙනී සිටි (332,406) සංඛ්‍යාවට වඩා 10,837 ක වැඩි වීමකි. අ.පො.ස. උසස් පෙළ 2022 විභාගයේ ප්‍රථිපල නිකුත්වීම ප්‍රමාදවීම නිසා මුලින් යෝජිත පරිදි 2023 අ.පො.ස. උසස් පෙළ විභාගය, 2023 නොවැම්බර් මස 27 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු අතර දෙසැම්බර් මස 21 දින අවසන්වීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත් සිසුන් විශාල පිරිසක් යෝජිත විභාග දින කල් දමන ලෙසට ඉල්ලීම් කරන ලද අතර, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පසුගිය දින කිහිපයේදීම මහජන නියෝජිතයන් ලෙස එම ඉල්ලීම පාර්ලිමේන්තුවේදී මතුකරන ලදී.

ඒ අනුව, විභාග පැවැත්වීමේ යෝජිත කාල වකවානුව කල් දැමීම සළකා බැලීමේදී කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

කොවිඩ් -19 හේතුවෙන් 2019 අවසන් භාගය, 2020 හා 2021 වර්ෂවල පැවැත්වූ පාසල් දින ගණන 50% – 60% වන ප්‍රතිශතයක් අතර වීමත් නිසා අ.පො.ස. සා පෙළ, අ.පො.ස. උසස් පෙළ හා 05 ශිෂ්‍යත්ව විභාගය කල්ගිය අතර, උත්තර පත්‍ර ඇගැයීම හා ප්‍රථිපල නිකුත් කිරීම ද කල්ගොස් ඇත.

තවද විවිධ වෘත්තීය ක්‍රියා මාර්ග හා 2022 වර්ෂයේ ඇති වූ ආර්ථික පසුබෑම් හා අරගල නිසාද පාසල් අධ්‍යාපනයට බාධා ඇති වී ඇත. විභාග පැවැත්වීමටද බාධා සිදු විය. මේ සියල්ලෙන් පීඩාවට පත්වූයේ පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ය.

පසුගිය වකවානුවේ ඉහත කී විවිධ හේතු නිසා විභාග කල්යෑම හා ප්‍රථිපල නිකුත් කිරීම පමාවීම නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශය, උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලාවලට ඇතුළුවීම, විදේශ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම පසුගිය වසර කිහිපය පුරාම ප්‍රමාදවීමෙන් නියමිත වයසේදී පාඨමාලා අයැදුම් කිරීමට තිබූ අවස්ථා පමා වී ඇත.

මෙය වසරින් වසරට පමාවීම වළක්වා, නියමිත වයස් සීමාවේදී විභාගවලට පෙනී සිට උසස් අධ්‍යාපන අවස්ථා හිමිකර දීම අමාත්‍යාංශයේ අපේක්ෂාව විය.

2023 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024 ජනවාරි මාසය දක්වා කල්දැමීමෙන් ඇති වන අයහපත් ප්‍රථිඵල

* මේ වන විට 2024 මාර්තු, අප්‍රේල් මාසවලදී පැවැත්වීමට සැලසුම් කර ඇති 2023 අ.පො.ස. (සා.පෙළ) විභාගය 2024 මැයි, ජුනි මාස දක්වා කල්දැමීමට සිදුවනු ඇත.

* 2023 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රථිපල නිකුත් කිරීම 2024 ජුලි මාසයේදී සිදු වනු ඇත.

* 2024 ජුලි මාසයේදී ප්‍රථිඵල නිකුත් වීමෙන් පසු 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටින අයැදුම්කරුවන්ට මෙවර මෙන්ම අමතර කාලයක් ලබාදීමට සිදුවනු ඇත. එසේ වුවහොත් 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය නැවතත් 2024 දෙසැම්බර් හෝ 2025 ජනවාරි මාසය දක්වා කල්දැමීමට සිදු වනු ඇත.

* ඒ අනුව දැනටමත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ මේ වන විට ඇති වී තිබෙන පසුබෑම නිවැරදි කරගැනීම තවත් පමාවනු වනු ඇත.

* පාසල් විභාග කාලසටහන් මෙසේ අක්‍රමවත් වීම හේතුවෙන් පාසල් වාර සටහන ද ප්‍රමාද වීම මගින් අධ්‍යාපන ක්‍රියාවලියේම සැලසුම් අක්‍රමවත් විය හැක.

* එමගින් පාසල්වල පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළු කරගැනිමේ කාර්යය ද ප්‍රමාද වේ.

* උසස් පෙළ ශ්‍රේණි අතර උසස් කිරීම ප්‍රමාදවීම මගින් 11 සහ 12 ශ්‍රේණිවල ශිෂ්‍ය කණ්ඩායම් 02 ක් බැගින් යම් කාලයක්
රැඳීම හේතුවෙන් විභාගයට පෙනීසිටින කණ්ඩායමට පන්ති කාමර ලබාදීම ගැටළුවක් වනු ඇත.

• උසස් පෙළ විභාග ප්‍රථිඵල නිකුත්කිරීම ප්‍රමාදවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයද ප්‍රමාද වේ.

* විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ අවස්ථා අහිමිවීම සහ විදේශීය විශ්වවිද්‍යාල මඟින් ලැබෙන ශිෂ්‍යත්ව අහිමිවීම.

* අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රථිඵල මත බඳවාගනු ලබන ජාතික තාක්ෂණ ඩිප්ලෝමාව, ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව වැනි පාඨමාලා සඳහා ඇතුළත්වීමේ අවස්ථා ප්‍රමාදවීම.

* දැනටමත් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති ආයතනික විභාග රාශියක් ද ප්‍රමාද කිරීමට සිදුවීම හා ඒ හරහා රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාදවීම.

* උසස් පෙළ විභාගය සඳහා දරුවන් වයස 18 දී පමණ පෙනී සිටිය යුතු වුවද, විභාග කල්දැමීම නිසා විභාගයට පෙනීසිටින විට දරුවන්ගේ වයස 18 ඉක්මවා යනු ඇත.

• කෙසේවෙතත් මුලින් සඳහන් කරුණු අනුව ප්‍රථිඵල නිකුත් කිරීම ප්‍රමාදවීම හා ප්‍රථිඵල නිකුත්වීමෙන් පසු අයැදුම් කළ අපේක්ෂක සංඛ්‍යාව පෙර වර්ෂ වලට වඩා වැඩිවීම (අයැදුම්පත් 18,473) සළකා බැලීමේදී විභාගයට සූදානම් වීමේ කාලය ප්‍රමාණවත් නොවීමෙන් විය හැකි අසාධාරණය සැළකිල්ලට ගෙන පාසල් වාර සටහනට අගතියක් නොවන ලෙස යෝජිත අ.පො.ස. (උසස් පෙළ) 2023 පැවැත්වීමේ දින වකවානු සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමුකර ඇත. ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල් ඉදිරි සතියේදී නිශ්චිත දින වකවානු ප්‍රකාශයට පත්කරනු ඇත.

* අ.පො.ස. (උසස් පෙළ) විභාගයට මේ වන විටත් සූදානම් වී සිටින දරුවන් විශාල පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියන් මෙම විභාගය තවදුරටත් කල්නොදමන ලෙසට, අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුම් හා WhatsApp පණිවිඩ මගින් ඉල්ලීම් කර ඇති බවත් මේ ගරු සභාවට මා දැනුම්වත් කරමි.”

42.31%
17.27%
32.76%