December 13, 2023

අධිවේගී මාර්ග පිවිසුම්වල රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සේවයේ යොදවා නොමැති බවත් අධිවේගී මාර්ග පද්ධතියේ ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීමේ රාජකාරී කටයුතු පමණක් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙම අදහස් පළකළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 27/2 යටතේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීමේ රාජකාරී කටයුතු සඳහා යොදවා සිටින සියලුම භටයන් අධිවේගී මාර්ගවල රාජකාරිවලින් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති බවද ටිරාන් අලස් ඇමැතිවරයා සඳහන් කළේය.

“විශේෂ කාර්ය බළකාය අධිවේගී මාර්ගයේ සිදු කරන රාජකාරිය වන්නේ රිය අනතුරක් සිදුවූ අවස්ථාවක ක්‍රියාත්මක වීම සහ ගින්නක් ඇති වූ විට ඒ පිළිබඳ කටයුතු කිරීමයි. නමුත් පසුගිය මාස එකොළහක කාලය තුළ එලෙස සේවයේ යොදවා ගැනීම් සිදුකර ඇත්තේ අවස්ථා 164කදී පමණයි. එම ස්ථානවල සේවයේ යොදවා ඇති විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 175දෙනෙකු සඳහා වසරකට රුපියල් මිලියන 260ක පමණ වියදමක් දරනු ලබනවා. හදිසි අනතුරකදී ක්‍රියාත්මක වීම හැර ඔවුන්ට විශේෂ රාජකාරියක් පැවරෙන්නේ නැහැ.” යැයි ඔහු පෙන්වා දුන්නේය.

මේ වනවිට පවතින මත්කුඩු මාෆියාව මර්දනය සඳහා විශේෂ කාර්ය බළකාය අවශ්‍ය බවත් ඒ සඳහා දැනටමත් කාර්මණ්ඩල සාමාජිකයින් 2300 පමණ හිඟයක් පවතින බවත් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ඒ පිළිබඳ සළකා බලමින් මෙම සාමාජිකයින් 175 මෙලෙස ඉවත් කර ගැනීමට පියවර ගනු ලබනවා. කෙසේ නමුත් පොලිසියේ රාජකාරි ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසකින් තොරව සිදුකරනු ලබනවා. ලෝකයේ ඕනෑම රටක ගිනි නිවීම් සහ ගලවා ගැනීම් කටයුතු සිදුකරනු ලබන්නේ ගිනි නිවන හමුදාව වැනි අංශ මගින්. අපේ රටේ විශේෂ කාර්ය බළකාය පිහිටවනු ලැබුවේ එවැනි කටයුතු සඳහා නොවේ.” යැයි ද ඇමැතිවරයා පැවසීය.

2011 වසරේදී ගිනි නිවීම් හමුදාව මගින් මෙම කටයුතු සිදු කිරීම සඳහා මිල ඉදිරිපත් කිරීමක් සිදුකර තිබුණා. එම මිල ගණන් අධික බැවින් කෙටි කාලයකට පමණක් විශේෂ කාර්ය බළකාය එම සේවයට යොදවා ගත්තත් මේ වනතුරුත් එය සිදුකෙරෙමින් පවතිනවා. මේ වන විටත් මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ අදාළ රාජකාරි සිදුකරනු ලබන්නේ ගිනි නිවීම් හමුදාව මගින්. ඒ ආකාරයටම අනෙකුත් අධිවේගී මාර්ගවලත් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. මෙම සියලු කරුණු සැළකිල්ලට ගනිමින් මේ තීරණය ගනු ලැබ තිබෙනවා.අමාත්‍යංශය සමඟ ද සාකච්ඡා කර, යම්කිසි කාලසීමාවක් ලබාදීමෙන් අනතුරුව විශේෂ කාර්ය බළකාය ඉවත් කරගැනීම සඳහා දිනයක් තීරණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඇමැතිවරයා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ මේ වන විට පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ අනුව 2023 වසරේ නිලධාරීන් දෙදහසක් බඳවාගෙන ඇති අතර 2024 වර්ෂයේදී තවත් නිලධාරීන් 5000ක්‌ බඳවා ගැනීමට කටයුතු කරමින් පවතින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%