February 5, 2024

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීම හා රක්ෂිත බන්ධනාගාරගත කිරීම පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනැගෙන ජනබලයේ ශක්තිය නිරූපණය කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසුවේ මෙය රටේ ජනතාව සිය අයිතීන් උදෙසා හඬ නැගීමේ ප්‍රතිඵලයක් බවයි.

විපක්ෂය මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී විසඳීමට උත්සාහ කළ ද කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ 113ක් අත ඔසවා පරාජය කළ බවත් එමගින් පාර්ලිමේන්තු ව්‍යුහය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වූ බවත් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේය.

“කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඇමැතිවරයකු සිය කැබිනට් ඇමැති ධුරය දරද්දීම මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ ප්‍රථම අවස්ථාව මෙය විය යුතුයි. මෙය රටේ ජනතාව සිය අයිතීන් උදෙසා හඬ නැගීමේ ප්‍රතිඵලයක්. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය රජයේ රෝහල්වලට මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සැක සහිත යමක් සිදුව ඇති බව මුලින්ම හෙළිදරව් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ඒ 2023 සැප්තැම්බර් 29 පැවති මාධ්‍ය හමුවේදී. එතැන් සිට මේ අයුක්තියට හා වංචාවට එරෙහිව රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයන්, වෘත්තීය සමිති, ජනමාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන් විශාල මැදිහත්වීමක් කළා. කෙහෙළිය සම්බන්ධ නෛතික කටයුත්තක් සිදු වෙන්නේ ඒ ජනතා මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස. මේ ගැන විමර්ශනය කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තෙරපුමක් ආවේත්, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණයේ නිලධාරීන්ට අත දිගහැර නිදහසේ වැඩ කරන්න ඉඩ ලැබුණෙත් ඒ ප්‍රබල ජනමතය සහ ජනබලය නිසා.” යැයි ඔහු එහිදී සඳහන් කළේය.

“විපක්ෂය මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව ඇතුළේ විසඳන්න ගියා. ඔවුන් කෙහෙළියට එරෙහිව විශ්වාසභංග ගෙනාවා. නමුත් පාර්ලිමේන්තුවේ 113ක් අත ඔසවා විශ්වාස භංගය පරාජය කළා. ඒකෙන් කෙහෙළිය ඇතුළු දූෂිත දේශපාලන නඩය ගැන වගේම පාර්ලිමේන්තු ව්‍යුහය ගැනත් ජනතාවගේ විශ්වාසය භංග වුණා. පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාවගේ ක්‍රියාකාරීත්වයක් වර්ධනය වුණේ ඒ සමග. ඒ වගේම ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වා මිනීමරන,  ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කර වැඩි මිලට ඖෂධ ගෙන්වා මහජන අරමුදල් ගසාකන ක්‍රියාවලියට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය අත එසවූ බවත් අමතක කරන්න එපා. ඒ අය ඒ අයට ඡන්දය දුන් ජනතාවගේ නියෝජිතයන්ද? නැහැ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විකාරයක් බවට පත්වෙලා තියෙන්නේ. ජනතාවට සිය අයිතීන් දිනා ගැනීම පමණක් නෙවෙයි, බාල බෙහෙත්වලින් ජීවිත අහිමිවීම වළක්වා ගන්නත් තිබෙන මාවත පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක්, පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම පමණයි. අසංවිධිත හා සරල මැදිහත්වීමකින් කෙහෙළිය නීතිය හමුවට පැමිණවීම වැනි සාපේක්ෂ ජයග්‍රහණයක් ලබාගත හැකිනම් වඩා සංවිධානාත්මක සහ වඩා දේශපාලන ප්‍රමිතියෙන් යුතු මහජන ව්‍යාපාරයකට කෙතරම් ජනතා ජයග්‍රහණ අත්පත් කර දිය හැකිද? මේ සිදුවීම ඒ සඳහා වන අගනා නිදසුනක්.” යැයි ද ඔහු පැවසීය.

“හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට දඬුවම් දීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඔවුන්ට දඬුවම් දිය යුතුයි. දැනට තිබෙන පරිදි පොදු දේපළ අවභාවිත කිරීමේ චෝදනා පමණක් නෙවෙයි, සමූහ ඝාතන සිදු කිරීමට තැත් කිරිම, මහජන සෞඛ්‍යයට හානි කිරීම සහ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාත් මේ අයට එල්ල කළ යුතුයි. නමුත් එයින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ විනාශය සිදු කරන්නේ ජාවාරම්කාර ගජමිතුරු ව්‍යාපාරික කල්ලියක්, දූෂිත ඉහළපෙළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ බලය හොබවන දේශපාලන මාෆියාවක් යන තුන්කට්ටුව එකතු වීමෙන්. මේ ජාලයේ එක කොටසක් පමණක් බිඳීමෙන් පලක් නැහැ. එක ඇමැතිවරයකු ඉවත් කළ විට තව ඇමැතිවරයකු පත් කරනවා. ඒ ඇමැතිවරු අතර ලොකු වෙනස්කම් නෑ. එක හොරෙක් සිරගත කරන විට තව හොරු මතු වෙනවා. ප්‍රශ්නය විසඳන්නනම් නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය වැඩකරන ජනතාව අතට ලැබෙන්න ඕන. එතෙක් මෙවැනි අසාධාරණයන්ට එරෙහිව පුළුල් ජන බලයක් ගොඩනැගීම අවශ්‍යයි. ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමටත් නියාමනය කිරීමටත් ජනතාව මැදිහත් වන ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. මූණු මාරු කරලා, ඇමැතිවරු වෙනස් කරලා, ආණ්ඩු වෙනස් කරලා, මේ කුට්ටම කොහොම ඇනුවත් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. වෛද්‍යවරුන්, නීතීඥයන්, විෂය ප්‍රවීණයන්, රෝගීන්ගේ අයිතිවාසිකම් සංවිධාන, දේශපාලන ව්‍යාපාර, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු මහජන සෞඛ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වවල කමිටු ගොඩනගා මේ ප්‍රශ්නය විසඳීමේ ආරම්භයක් ගත යුතුයි. ඒ ආරම්භක පියවරේ සිට ජනතාව රාජ්‍යයේ තීන්දු තීරණ ගන්නා අවසන් පියවර දක්වා හැම තැනකදීම මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. මේ සාපේක්ෂ ජයග්‍රහණය උත්තේජනයක් කරගෙන එම ජනමතය සහ ජනබලය ගොඩනැගීමට එක්වන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%