March 26, 2025

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ නිවසක පොළොව යට වළලනු ලැබූ කාන්තාවකගේ සහ දරුවකුගේ මළසිරුරු අධිකරණ නියෝගයක් මත, සිද්ධියෙන් වසර 38 කට පසු ගොඩගෙන තිබේ.

දිවයින පුවත්පතට අනුව, 1987 දී සිදුකරන ලද ප්‍රහාරයකින් කාන්තාව සහ දරුවා මියගොස් ඇති අතර, සැමියාට ඔවුන්ගේ නිවස යට වළලනු හැර වෙනත් විකල්පයක් නොතිබී ඇත.

වැඩි කල් යන්නට මත්තෙන්, එම පුද්ගලයා ඉන්දියාවට පළාගොස් ඇති අතර, එතැනින් ඔහු යුරෝපීය රටකට පළාගොස් තිබේ.

එහිදී ඔහු සරණාගතභාවය පතා තිබේ.

මෑතකදී යාපනයට ආපසු පැමිණි පසු, එම පුද්ගලයා තම බිරිඳගේ සහ දරුවාගේ සිරුරු ගොඩගෙන ආගමික චාරිත්‍රානුකූලව නිසි භූමදානයක් සිදුකරන ලෙස ඉල්ලා යාපනය අධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත.

ඔහුගේ අභියාචනය සහ පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද සවිස්තර වාර්තාවක් සැළකිල්ලට ගනිමින්, සඳුදා (මාර්තු 24) ආගමික චාරිත්‍රානුකූලව භූමිදානය සිදුකරන ලෙස අධිකරණය විසින් මළ සිරුරු ගොඩගැනීමට අවසර දී ඇති අතර, සඳුදා (මාර්තු 24) ආගමික චාරිත්‍රානුකූලව භූමිදානය සිදුකර තිබේ.