June 17, 2024

අම්පිටිය ප්‍රදේශයේ කීර්තිමත් විද්‍යාලයක් අසලදී පසුගිය සිකුරාදා සිදුකර තිබූ පිහි ඇනුමට හේතුව ස්මාර්ට් ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බවට විශ්වාස කරන බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් දහසය හැවිරිදි සිසුවෙක් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමට සිදුව ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සඳහන් කරයි.

ඇය පවසන්නේ තුවාලකරුගේ උදර ප්‍රදේශයේ බරපතළ කැපුම් සලකුණු දක්නට ලැබෙන බවයි.

තුවාල ලබා ඇත්තේ උඩුවෙල හුණුකොටුව ප්‍රදේශයේ ගාල්තැන්න පාරේ පදිංචි සිසුවෙකි.

සැකකරු ද ගාල්තැන්න ප්‍රදේශයේම අයෙකි.

තුවාලකරු සැකකරුගෙන් බලහත්කාරයෙන් ස්මාර්ට් ජංගම දුරකථනය ලබාගෙන ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ සැකකරුට දැඩි ලෙස අවවාද කර ඇප ලබා දෙනු ලැබුවේ මව විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇපයකට අත්සන් තැබීමෙන් පසුය.

සැකකරුට 2024 ජුලි 5 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියෝග කෙරිණි

සිසුන් දෙදෙනාම අම්පිටියේ කීර්තිමත් විද්‍යාලයක සිසුන් වන අතර ඔවුන් දෙදෙනාම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.

පාසල නිමවී නිවස බලා යමින් සිටියදී මෙම ගැටුම සිදුව ඇත.

 

42.31%
17.27%
32.76%