January 19, 2024

අසාමාන්‍ය ලෙස ඉහළ යන ඉන්ෆ්ලුවෙන්සා හමුවේ උණ, කැස්ස, උගුරේ අමාරුව, නාසය හිරවීම, මාංශ පේශී හෝ ඇඟේ කැක්කුම, හිසරදය සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ ගැන ප්‍රවේශම්වන ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

“සාමාන්‍යයෙන් නොවැම්බර් සිට පෙබරවාරි දක්වා සහ අප්‍රේල් සිට ජූලි දක්වා ඉන්ෆ්ලුවෙන්සා උච්චතම අවස්ථා දෙකක් පවතිනවා. පසුගිය මාසයේ සහ ජනවාරි මුල් සතියේ ලබාගත් සාම්පලවලට අනුව, පෙර නොවූ විරූ ආකාරයේ ඉන්ෆ්ලුවෙන්සා-වැළඳීමේ අනුපාතය සියයට 25ක් තරම් අගයක අපට දැකගත හැකිවෙනවා” යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කරයි.

මෙම තත්ත්වය හමුවේ කොළඹ, රාගම, කළුබෝවිල, මීගමුව, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ බෝවන රෝග රෝහල ඇතුළු රෝහල් 20ක ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග පිළිබඳ නිරීක්ෂණ කටයුතු වැඩිදියුණු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ජාතික ඉන්ෆ්ලුවෙන්සා මධ්‍යස්ථානයට උපදෙස් දී ඇත.

“ඒ අනුව දිනපතා ජාතික ඉන්ෆ්ලුවෙන්සා රසායනාගාරයට සාම්පල යොමුකරනවා. මේ වන විට ප්‍රමුඛ වන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වර්ගයයි.” වෛද්‍යවරයා පවසයි.

ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගවලට ගොදුරු විය හැකි කණ්ඩායම් අතර ගැබිනි මව්වරුන්, අවුරුදු දෙකට අඩු දරුවන්, වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් සහ නිධන්ගත රෝග ඇති අය ඇතුළත් වේ.

මේ අතර, ඔවුන් කොවිඩ්-19 නිරීක්ෂණ කටයුතු ද වැඩිකර ඇති බවත්, එබැවින්, දින 09ක කාලයක් තුළ පරීක්‍ෂා කරන ලද සාම්පල 500න් ධනාත්මක අනුපාතය සියයට 06ක් ඇති බවත්, වෛද්‍ය ජයමහ ප්‍රකාශ කරයි.

එපමණක් නොව, කැස්ස ඇති පුද්ගලයන් එය අන් අයට පැතිරීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් පැළඳින ලෙස වෛද්‍යවරයා ඉල්ලා සිටී.

42.31%
17.27%
32.76%