December 4, 2023

රසායනික ද්‍රව්‍ය හිඟය මත රස පරීක්ෂක වාර්තා 7,516ක් නිකුත් කිරීම මෙම වර්ෂයේදී ප්‍රමාදවීම හේතුවෙන් 6000කට ආසන්න පිරිසක් නිකරුණේ බන්ධනාගාරගතව සිටින්නට ඇතැයි තමා අනුමාන කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පෙරේදා (02) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

සිරකරුවන් නිකරුණේ බන්ධනාගාරවල මෙලෙස රඳවා ගැනීම රජයට බරක් බව ඔහු සඳහන් කළේය.

සාම්පල 5505ක වාර්තා මාස තුනකට වැඩි කාලයක් තිස්සේද, සාම්පල 2011ක වාර්තා මාස 06කට වැඩි කාලයක් තිස්සේද ලබාදී නැති බවත්, මෙම සියලු සාම්පල ඉදිරි මාස තුනේදී පරීක්ෂා කර අවසන් කිරීමට වැඩපිළිවෙලක් සකස්කර ඇති බවත්, ඇමැතිවරයා පැවැසීය.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශිර්ෂ පිලිබඳ විවාදයට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට මත්ද්‍රව්‍ය සාම්පල 10491ක් මේ වසරේ ඔක්තෝබර් අගවනවිට ඒවා තිබූවත් එම මත්ද්‍රව්‍ය සාම්පලවලින් 1477ක කිසිඳු මත්ද්‍රව්‍යක් තිබී නැති බව ඔහු පැවසීය.

පසුගිය 2022 වර්ෂයේ සිට 2023 ඔක්තෝබර් දක්වා ලැබුණු සාම්පල 20,257කින් මත්ද්‍රව්‍ය අඩංගු නොවූ සාම්පලවල ප්‍රතිශතයක් ලෙස සියයට 7.3ක් බවත්, එය විශාල සංඛ්‍යාවක් බවත්, හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම වසරේ නොවැම්බර් 09 වැනිදා දක්වා කාලය තුළ හෙරොයින් සාම්පල 8351ක් ලැබී ඇති බවත්, ඉන් සාම්පල 790ක කිසිඳු මත්ද්‍රව්‍යක් තිබී නොමැති බවත්, ඇමැතිවරයා පැවසීය.

මෙය පොලිසිය හිතාමතා කරනවාදැයි සැකයක් මතු වන බව ද ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව තමා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත්, මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, ඇමැතිවරයා පැවසීය.

වැල්ලම්පිටිය පොලිසිය ව්‍යාජ සාම්පල 67ක් ද කඩුවෙල පොලිසිය සාම්පල 49ක් ද මරදාන පොලිසිය සාම්පල 35ක් ද පෑලියගොඩ පොලිසිය සාම්පල 28ක් ද මෝදර පොලිසිය සාම්පල 24ක් ද ඒවා ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%