July 10, 2023

ඕස්ට්‍රේලියාවේ පැවති රැස්වීම් නිරීක්ෂණය සඳහා එරට පොලිස් නිලධාරීන් පැමිණි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය. පොලිසිය එසේ පැමිණියේ යම් ‘සිදුවීමක්’ සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ නායකයා මේ බව සඳහන් කරන ලද්දේ එම පක්ෂයේ වත්තල ආසන සමුළුව අමතමිනි. හෙතෙම එහිදී මෙසේද පැවැසීය.

“මේ සමාජය ගොඩනගන්න අසීරු තරමට මානව සම්බන්ධතා විනාශ කර දමලා. හදවතේ පැන නගින සහකම්පනය විනාශ කර දැම්මා. අනෙකා කෙරෙහි තිබෙන බැඳීම, ආදරය නැතිකර දැම්මා. සියලු මානව සම්බන්ධතා මුදල් කියන අයිස් වතුරේ ගිල්වා මරා දැම්මා. අපි ඉස්සරහා තිබෙන මේ සමාජය කුඩු ව්‍යාපාරිකයා ඉස්සරහා වැඳ නමස්කාර කරන තත්වයට පත් කළා. අද ඔහු ‘සර්’ වී, ඡන්දය ඉල්ලන්නත් එනවා. 77න් පස්සේ ආර්ථික ඛේදවාචකයට වඩා විශාල සමාජ ඛේදවාචකයක් නිර්මාණය වුණා. මුළු සමාජයක් කඩාවැටුණු වෙලාවක පොලීසිය විතරක් බේරෙන්නේ නැහැ. ආගමික සංස්ථා විතරක් බේරෙන්නෙත් නැහැ. ගුරුවරු සහ සිසුන් අතර සම්බන්ධතාවය බිඳ වැටුණා. තරුණියන් තමන්ගේ නැගණිය, සොහොයුරිය කියන තත්වයෙන් පැත්තකට දමා ඩැහැගත හැකි ගොදුරක් ලෙස කල්පනා කළා.

අනෙකා කෙරෙහි සහකම්පනයක් නැති මෙහෙම සමාජයකට ඉස්සරහට යන්න බැහැ. ඕස්ට්‍රේලියාවේ තිබුණු අපේ රැස්වීම්වලටත් පොලීසියෙන් ආවා. ඒ ආවේ යම් කුඩා හෝ සිදුවීමක් වුවහොත් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුට අත තියන්න බැහැ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාකළ හැකි වන්නේ බලයලත් නිලධාරියෙකුට විතරයි. නමුත් අපේ රටේ නොදියුණු ගෝත්‍රික ප්‍රතිචාර ලැබෙනවා. මේ ආර්ථික ගමනෙන් විශාල සමාජ ඛේදවාචකයන් නිර්මාණය කර තිබෙනවා. සියල්ල මුදල් මත තීරණය වන මේ සමාජය අපි වෙනස් කරනවා. අනෙකා ගැන සහකම්පනයක් තිබෙන සමාජයක් නිර්මාණය කරනවා. එංගලන්තයේ කොවිඩ් වසංගත සමයේ ගෙදර සාදයක් පැවැත්වූ අගමැතිවරයෙකු ඉල්ලා අස්වුණා. අපේ රටේ කොවිඩ් සීමා පනවා තිබියදී, රාජපක්ෂ පුත්තු රගර් ගැහුවා. අම්මා ගිහින් බලාගෙන හිටියා. ඒවා ප්‍රශ්න නොකරන සමාජයක් තිබෙන්නේ.”