March 15, 2025

ඊයේ (14) රාත්‍රියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ 45 හැවිරිදි පුද්ගලයකුට වෙඩිතැබීම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව ඔහු පොලිසියට දැනුම්දෙන බවට ඇති වූ සැකයක් නිසා බවට පොලිසිය සැකකරයි.

සවස 6:45 ට පමණ අම්බලන්ගොඩ ඉඩම්තොට බුදු මැදුර අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙලෙස වෙඩිතබා ඇත.

වින්දිතයා වන ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් ‘පොඩි සුද්දා’ වෙඩි තැබීමෙන් මියගියේය.

පොලිසියට අනුව, 45 හැවිරිදි වින්දිතයා දරුවන් හතරදෙනකුගේ පියකු වන අතර එම ප්‍රදේශයේ කුලී කම්කරුවකු ලෙස සේවය කර ඇත.

ඔහුට කිසිදු අපරාධ වාර්තාවක් නොමැති බවත් ඔහු එම ප්‍රදේශයේ සාමකාමීව ජීවත් වූ බවත් පොලිසිය තහවුරු කරයි.

කෙසේවෙතත්, වින්දිතයා ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව පොලිසියට තොරතුරු සපයන බවට ඇති විශ්වාසය මත, සමන් ප්‍රියන්ත නොහොත් ‘සමන් කොල්ලා’ගේ කල්ලිය විසින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට විමර්ශකයින් සැකකරන බව පොලිසිය පවසයි.

වාර්තාවලින් පෙනීයන්නේ වින්දිතයාට ජනවාරි මාසයේදී සමන් කොල්ලාගේ කල්ලියේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් පහර දී ඇති බවයි.

2016 දෙසැම්බර් 5 වැනි දින පොලිස් ඔත්තුකරුවන් බවට සැකපිට එම ඉඩම්තොට ප්‍රදේශයේදීම පියකු, මවක් සහ ඔවුන්ගේ සිව් හැවිරිදි දරුවෙකු වෙඩිතබා ඝාතනය කරන ලද එවැනිම සිදුවීමක් ද පොලිසිය සිහිපත් කරයි.

එම ඝතනයන්ද සමන් කොල්ලාගේ කල්ලියේ සාමාජිකයින් විසින් සිදුකළේ යැයි කියනු ලැබේ.